News

කොන්දේ අපහසුතා දුරු කරන ආධාරකයක්

වියපත් වීමත් සමග කාන්තා පිරිමි භේදයක් නොමැතිව මුහුණ දෙන්නට සිදුවන විශාල අපහසුතාවකි කොන්දේ ආබාධ. කොන්දේ ආබාධ ඇති වීමට ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ ඇවිදීමේ දී, අසුන් ගෙන සිටීමේ දී සහ නිදා ගැනීමේ දී භාවිත කරන වැරදි ඉරියව් බව වෛද්‍ය මතයයි. මේ නිසාම ඇවිදීම, අසුන් ගැනීම සහ නිදා ගැනීම යන ආකාර තුනේදී ම නිවැරදිම ඉරියව්ව තෝරාදීම සඳහා උපකාරී වන ආධාරකයක් ඕස්ට්‍රේලියානු වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් නිෂ්පාදනය කර තිබේ. මෙය ඔවුන් නම් කර තිබෙන්නේ Spino Wearable Lower Back Support යනුවෙනි.
මෙය ඉනට පහළින් පැලඳිය හැකි අඟල් හයක පමණ උසකින් යුතු බෙල්ට් එකක් වන අතර එමගින් ඉනෙන් පහළ කොන්ද ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් සපයනු ලබයි. කොන්දට මෙන්ම දණහිසට පැලඳිය හැකි ආධාරකය මගින් ඇවිදින විට නිවැරදි ඉරියව්ව ලබාදේ. එනම් කොන්ද ඍජුව තබා ඇත්දැයි පරීක්ෂා කිරීම, පියවර අතර දුර අඩු හෝ වැඩිවීමෙන් එය කොන්දට බලපෑමක් ඇති කරන්නේ ද යන කරුණු පිළිබඳව වාර්තා කිරීම ද සිදු වේ. එමෙන්ම පුටුවක හෝ බිම අසුන්ගෙන සිටින විට මෙම උපකරණය පිට කොන්දට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. නිදා සිටින අවස්ථාවල මෙට්ටය නිසා කොඳු නාරටියේ පිහිටීම අස්ථායී වී ඇත්ද යන්න පිළිබඳ වාර්තා කිරීමට ද මෙම උපකරණයට හැකියාව පවතී. මෙය පළඳින පුද්ගලයාගේ උස, මහත සහ ශරීර ස්වභාවය අනුව සීරුමාරු කිරීමේ පහසුකම් ද සහිත ය.
මෙම ආධාරකය මගින් කොන්ද ප්‍රදේශය සම්බාහනයවීම ද සිදු වේ. එහි ඇති ක්‍රියාකාරී ස්විච වෙනස් කිරීමෙන් කොඳු ප්‍රදේශය සම්බාහනය කළ හැකි වන අතර මෙම සම්බාහනය දිනකට විනාඩි 15ක් හෝ 20ක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් ය. ඇමරිකානු ඩොලර් 35ක් ලෙස එහි මිල සටහන් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර කරුණු www.notioninnovations.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

දුලංජලි මුතුවාඩිගේ