Health

දුම්වැටියට ඔබේ දරුවාව බිලිගන්න දෙන්න එපා

ශ්‍රීලංකාවේ ජනතාවගේ වළක්වාගත හැකි අකල් මරණ පිළිබඳව සාකචඡා කළහොත් රිය අනතුරු, සිය දිවි නසාගැනීම්, අයහපත් ජීවන රටාව නිසා ඇතිවන රෝගාබාධ සහ දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය ආදිය කාගේත් කතාබහට ලක්වෙන මාතෘකා වේ. මේ අතරින් මෙම අකල් මරණ සඳහා වැඩි දායකත්වයක් දක්වන්නේ දුම්වැටි හා මත්ද්‍රව්‍යයන් ය. එයින් දුම්වැටි පිළිබඳව අපි අද කතා කරමු.

ලෝකයේ දුම්කොළ සමාගම් යනු තමන්ගේ හොඳ ම පාරිභෝගිකයා ප්‍රථමයෙන් ම මරාදමන්නට තරම් සාහසික ව්‍යාපාරික කොට්ඨාසයකි. එමෙන් ම ඒ මියයන සෑම පුද්ගලයෙක් වෙනුවෙන් ම නවකයෙක් දුම්වැටියේ ගොදුරක් බවට පත්කර තම ව්‍යාපාරය
භද අඛණ්ඩව ලාබ ලබමින් පවත්වාගෙන යාම ද ඔවුන්ගේ ක්‍රියාන්විතයේ අරමුණකි. මෙහිදී ඔවුන් ඉල්ලක කරන්නේ හැකි තරම් කුඩා දරුවන් ය. එනම් දුම්වැටියක් ඉරීමට හැකි කුඩා ම දරුවා ඔවුන්ගේ ඉලක්කයයි. ඔවුන්ට ඇත්තේ තොල් දෙකක් සහිතව ඉපදෙන සෑම මනුෂ්‍යයෙක්ගේ ම තොල් මත දුම්වැටියක් තැබීමේ වාණිජ පරමාර්ථය පමණි. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ වූ නීත්‍යානුකූල නොවන සහ සදචාරාත්මක නොවන ක්‍රමවේද නිරන්තරයෙන් අනුගමනය කරයි. විශේෂයෙන් ම මෙම සමාගම් බාහිරින් දුම් පානය වැඩිහිටියන්ගේ පුරුද්දක් ලෙස පෙන්වීමට කටයුතු කළත්, සැබැවින් ම ඔවුන්ගේ ඉලක්කය වයස අවුරුදු දහයට අඩු දරුවන් බව ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් හඳුනාගත හැකිය. එනම් හැකි තරම් අඩු වයසක පුද්ගලයෙක් දුම්වැටි භාවිතයට හුරුකරගතහොත් එම පුද්ගලයාට ජීවිත කාලය තුළ වැඩි දුම්වැට් ප්‍රමාණයක් අලෙවි කළ හැකි බවත්, එම පුද්ගලයාව ඉක්මනින් මෙයට ඇබ්බැහි කළ හැකි බවත් ඔවුන් හඳුනාගෙන තිබේ. ඒ අනුව වයස අවුරුදු බිංදුවේ සිට පහ දක්වා මුල් ළමා වියේ පසුවන දරුවන්ගේ පවා මනසට තමන්ගේ නිෂ්පාදනයන් පිළිබඳව රුචිකත්වයක් ඇතිකිරීමේ උපක්‍රම ඔවුන් නිරන්තරයෙන් යොදයි. නිදසුනක් ලෙස කාටූන්, ළමා චිත්‍රපට, කතන්දර ආදියට හිතාමතා ම දුම් පානය කරන දර්ශන ඇතුළත් කර තිබෙනු ඕනෑ ම කෙනෙකුට අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව බෝ නොවන රෝග රාශියක් ඇතිවීමට හේතුවක් වන දුම් පානය “බෝ කරන රෝගයක්” ලෙස ද හැඳින්වීමට පුළුවන.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ වරසකට දුම් පානය නිසා මියයන පිරිස විසි දහසකට ආසන්න ය. ඉහත සඳහන් කළ රිය අනතුරු, සියදිවි නසාගැනීම් ආදී අකල් මරණ සහ බෝ වන රෝග වන ඩෙංගු වැනි රෝග වැලඳීමෙන් මියයන ප්‍රමාණයන් එකතු කළහොත් වාර්ෂිකව එමගින් සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් දුම් පානය හේතුවෙන් සිදු වේ.

මේ ආකාරයෙන් දුම් පානය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුද්ගලයන් විසිදහසක් මියයාම යනු දිනකට මිනිසුන් පනස් පහක් / හැටක් පමණ රටට අහිමි වේ. එමෙන් ම දුම් පානය කරන සෑම පුද්ගලයන් දෙදෙනෙගෙන් ම එක් අයෙකුගේ මරණයට හේතුව දුම් පානය වේ. එනම් ඒ ආකාරයෙන් මියයන්නේ කාගේ හෝ පවුලක ආර්ථිකය ශක්තිමත් කරන පියා විය හැකිය. එසේ උපකල්පනය කළහොත් ශ්‍රී ලංකාවේ දිනකට පවුල් පනස් පහක් / හැටක් අතර ප්‍රමාණයකට පියවරුන් අහිමි වේ. එහි බලපෑම පවුලකට දැනෙන්නේ කෙසේද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඔවුන්ගේ ආර්ථිකය, පවුලේ ආරක්ෂාව ආදී සියල්ල බිඳවැටෙයි. පියා මේ හේතුවෙන් රෝහල්ගත වන්නේ නම් ඇතැම්විට දරුවන්ගේ අධ්‍යාපනය ද එයින් අඩාල වේ. ඉගෙනගන්නා වයසේ සිටින දරුවන්ට පවා රෝහලේ පියා ළඟ නැවතීමට හෝ පියා වෙනුවෙන් නිතර රෝහලට යාමට සිදු වේ. බිරිඳ රැකියාවක් කරන්නේ නම් ඇයට ද පවුලේ බර තනිව කරට ගන්නට සිදුවීමෙන් සහ සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයාබලන්නට වැඩි කාලයක් වැය කරන්නට සිදුවීමෙන් ඇගේ රැකියාවේ කටයුතු ද හරිහැටි සිදුකළ නොහැකි වේ. නමුත් අදාළ සමාගම් හිමියන්ගේ දරුවන්ට හෝ පවුල්වල අයට එවැනි ගැටලු කිසිවක් නැත. සාමාන්‍ය ජනතාව අසරණතාවයට පත්කොට ඔවුන් සතුටින් තමන්ගේ අය සමග දිවි ගෙවයි. මෙලෙස ඒ අයුරින් අසරණ වන පවුල්වල සාමාජිකයන් පිළිබඳව සොයා බලන්නට අද සමාජයේ කිසිවෙකුත් නැත. කිසිවෙකු මේ සම්බන්ධයෙන් හඬක් නොනැගුවත්, කිසිවෙකුට හඬ නගන්නට අවකාශ නොදුන්නත් දුම්කොළ සමාගම් අනිවාර්යයෙන් ම මෙම මරණවලට ඍජුව ම වගකිව යුතුය.

ඇතැම් විදේශයන්හි දුම් පානය නිසා මරණයට පත්වන පුද්ගලයන් සඳහා මෙන් ම අක්‍රීය දුම් පානය නිසා මරණයට පත්වන පුද්ගලයන් සඳහා ද ඔවුන්ගෙන් යැපෙන පවුලේ අයට අදාළ සමාගම්වලින් වන්දි මුදල් හිමි වේ. දැනට ලෝකයේ විශාල ම වන්දි මුදල් හිමිව ඇතතේ ද දුම් පානය නිසා පීඩාවට පත්වූ පවුල්වල සාමාජිකයන්ට ය. නමුත් ශ්‍රී ලංකාවේ මෙපමණ මරණ සංඛ්‍යාවක් දුම් පානය හේතුවෙන් සිදු වූවත් එලෙස මරණයට පත්වන අයගේ දරුවන් සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් හඬක් නගන්නට ඉදිරිපත් වෙන්නන් විරල ය. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ, දුම් පානය නිසා මරණයට පත්වූවන්ගේ සහ රෝගාතුරවූවන්ගේ පවුලවල සියලුදෙනා මේ ඛේදවාචකයට විරුද්ධව ඒකරාශී විය යුතුය.

දුම්වැටියකට එය පානය කරන පුද්ගලයා කාන්තාවක් ද පිරිමියෙක් ද යන්න කිසිසේත් ම අදාළ නැත. දුම් පානයෙන් බලපෑමක් සිදුවිය හැකි සියලු ම අවයවවලට ගැහැනු පිරිමි භේදයකින් තොරව මෙය බලපායි. එමෙන් ම දුම් බොන පුද්ගලයන්ට වගේ ම දුම් පානය කරන පුද්ගලයන් අසල සිටින අක්‍රිය දුම්පානයට හසුවන පුද්ගලයන්ට ද එම ලෙඩ රෝග එම ආකාරයෙන් ම සෑදිය හැකිය. ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කිරීම තහනම් කිරීමට නීතිරීති සකසා ඇත්තේ ද ඒ නිසා ය.

විශේෂයෙන් ම දරුවන්ගේ උපත් බර ඔවුන්ගේ බුද්ධි වර්ධනයටත්, යහපත් සෞඛ්‍යයටත් සහ ආයු කාලයටත් අතිශයින් ම වැදගත් ය. සාමාන්‍යයෙන් සෞඛ්‍යසම්පන්න දරුවෙකුගේ උපත් බර 2ග5ණටක් වේ. නමුත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුඩුදෙන ප්‍රධාන ම ගැටලුවක් ලෙස දරුවන්ගේ උපත් බර අඩුවීම දැක්විය හැකිය. ලොව පුරා කරන ලද පර්යේෂණවලින් තහවුරුවී ඇති පරිදි එයට බලපාන ප්‍රධාන ම හේතුවක් ලෙස දුම් පානය හැඳින්වීමට පුළුවන. එනම් මව දුම් පානය නොකළත් ගර්භණී සමයේ වෙනත් අයෙක් දුම් පානය කරන ස්ථානයක සිටීම පවා කුසේ සිටින දරුවාගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි. එහිදී යම් යම් අඩුපාඩුකම් සහිත දරුවන් ඉපදීම මෙන් ම මළ දරු උපත් පවා සිදුවීමේ අවදානමක් ඇත.

මේ නිසා රටක්, ජාතියක් වශයෙන් අපේ අනාගත පරපුර දුම්වැටිවලට හසුවීමෙන් ආරක්ෂා කරගනිමු. එමෙන් ම ජවසම්පන්න සහ බුද්ධිසම්පන්න අනාගත ශ්‍රම බලකායක් වෙනුවෙන් දුමෙන් නිදහස් නිරෝගී රටක් නිර්මාණය කිරීමට සියලුදෙනා එකාවන්ව එක්වුවහොත් එය අනිවාර්යයෙන් ම කළ හැකිය. ඉදිරි ලිපියකින් අපි ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරමු.

ආචාර්ය ජී. එන්. දුමින්ද ගුරුගේ (අංශ ප්‍රධාන – සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක