Health Guide

පියයුරු පිළිකාවට අභියෝග කරන්නට ඔබ සූදානම්ද?

උපත සිට මරණය දක්වා ගෙවී යන ජීවන ගමනේ නිමක් නැති දුක් කරදර සියල්ල අඩු වැඩි වශයෙන් දරාගනිමින් අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දියකරන ගැහැණිය ඔබේ මව, බිරිඳ හෝ මිත්තණිය වන්නට පුළුවන. හිටිහැටියේ ඇය පිළිකාවකට ගොදුරුවී ඇතැයි වෛද්යවරයා විසින් තහවුරු කළ බව දැනගන්නට ලැබුණහොත්, ඇය වටා බැඳුණු සිහින සියල්ල උඩු යටිකුරු වන්නට පටන්ගනී. එය එසේ වුවත්, අද වනවිට තත්ත්වය හාත්පසින් ම වෙනස් ය. ලෝකයේ මෙන් ම අප රටේ ද කාන්තාවන් අතර බහුලව ම දකින්නට ඇති පියයුරු පිළිකාව කලින් හඳුනාගන්නට හැකි නම් එය සාර්ථකව මැඩලීමට හැකියාව ඇත. එවන් පසුබිමක් තුළ කිසිදු ආකාරයකට මානසික කඩාවැටීමකට ලක් නොවී, නොබියව පියයුරු පිළිකාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම වැදගත් ය.
පියයුරු පිළිකාව කලින් හඳුනාගතහොත් බොහෝ දුරට එයින් සුවය ලැබීමට හැකියාව ලැබෙන අතර ස්වයං පියයුරු පරීක්ෂාව මඟින් පිළිකාමය තත්ත්වය හඳුනාගැනීම පිළිබඳව මේ වනවිටත් සියලු‍දෙනා දැනුවත්ව සිටින කරුණකි. ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට හෝ පියයුරු පිළිකාවක් වැලඳී ඇත්නම් ඉදිරි ප්‍රතිකාර සඳහා යොමුවිය යුත්තේ කෙසේදැයි විමසා බලමු.

පියයුරු පිළිකාව අද ලංකාවේ කාන්තාවන් අතර බහුලව ම පවතින පිළිකාමය තත්ත්වයකි. මෙය පිරිමින්ට ද සෑදෙන්නට ඉඩ ඇති අතර එවැනි තත්ත්වයන් දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි.

මුලින් ම පියයුරු පිළිබඳව දැනගනිමු.

ඔබේ පියයුරුවල සාමාන්‍ය ස්වරූපය පිළිබඳව ඔබ හොඳින් දැන සිටීම ඉතා වැදගත්. එය ඔබට පියයුරුවල අලු‍තෙන් ඇති වන කුමන හෝ වෙනසක් ඉක්මනින් හඳුනාගන්නට පහසු කරයි.

වයස අවුරුදු 20ට වැඩි සියලු‍ ම කාන්තාවන් පියයුරු පිළිබඳව දැනුවත්වීම වැදගත් ය. කුමන හෝ වෙනසක් දැන ගත් වහාම හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පිළිකා නොවන වෙනත් රෝග තත්ත්වයන් නිසා ද පියයුරුවල වෙනස්කම් ඇතිවිය හැකිය. පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

පියයුරුවල ප්‍රමාණය හෝ හැඩයේ යම් වෙනසක් ඇත්දැයි පරීක්ෂාවෙන් සිටිය යුතුය. සියලු‍දෙනාගේ පියයුරු බොහෝ විට එක හා සමාන නැත. සමහර කාන්තාවන්ගේ එක පියයුරක් අනිත් පියයුරට වඩා ප්‍රමාණයෙන් සහ හැඩයෙන් වෙනස් විය හැකිය. මෙය මෑතක දී ඇතිවූ වෙනසක් නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් ය.

ඔසප් දිනවල හා එයට ආසන්න දිනවල දී ඔබේ පියයුරුවල වේදනාවක් හෝ ගැටිති සහිත බවක් දැනෙන්නට ඉඩ ඇත. (ස්පර්ශ කරන විට දී). මෙය සාමාන්‍ය තත්ත්වයකි. ඔසප් නොමැති සාමාන්‍ය දිනවල හෝ ඖෂධයක් නිසා තාවකාලිකව ඔසප් නැවතී ඇති අවධියක හෝ ගර්භණී හෝ මව්කිරි ලබාදෙන අවධියේ දී හෝ වයසත් සමග ඔසප්වීම නැවතී ඇති කාන්තාවන්ට එක දිගට පවතින වේදනා සහිත ගැටිති ස්වභාවයක් පියයුරුවල දකින්නට ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පියයුරු පිළිකාවක් බවට සැක කළ හැකි වෙනත් රෝග ලක්ෂණ

■ පියයුරුවල ගෙඩියක් හෝ ගැටිත්තක් හඳුනාගැනීම.
■ පියයුරු හෝ තනපුඩුව ආශ්‍රිත සමේ වෙනස්කම්.
■ පියයුරේ කොටසක් ඇතුළට නෙරා යාමක් දකින්නට තිබීම.
■ තන පුඩුව අවට රතු පැහැයක්, දදයක් හෝ තුවාලයක් ඇති බව හඳුනාගැනීම.
■ තන පුඩුව පියයුරුව තුළට නෙරා යාමක් දැකීම.
■ තන පුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් පිටවීම.
■ කිහිලි පෙදෙසේ අලු‍තින් ඇතිවූ ගැටිත්තක් හෝ සම ඝනවීමක් දැකීම.

පියයුරුවල යම් ආකාරයේ වෙනසක් තිබේදැයි හඳුනාගත හැකි අවස්ථා

ඔබ ස්නානය කරන අවස්ථාවල දී ඔබගේ පියයුරෙන් පියයුරට හොඳින් ස්පර්ශ කර බලන්න, ගෙල හා කිහිලි ද එලෙස ම පරීක්ෂා කරන්න.

ඇඳුම් මාරු කරන අවස්ථාවේ දී කණ්ණාඩියක් ඉදිරිපස සිට පියයුරුවල පෙනුම නිරීක්ෂණය කරන්න. පියයුරුවල හැඩයේ ප්‍රමාණයේ පැහැයේ යම් වෙනසක් ඇත්දැයි පරීක්ෂා කරන්න.

පියයුරු පිළිකාවට ගොදුරුවීමට වැඩි අවදානමක් ඇති අවස්ථා

■ වයස්ගතවීම.
■ තරබාරු බව. (විශේෂයෙන් වයසත් සමග ඔසප් නැවතීමෙන් පසු)
■ දරුවන් බිහි නොකළ කාන්තාවක්වීම.
■ මව්කිරි ලබා නොදුන් කාන්තාවක්වීම.
■ කලින් වැඩිවියට පත්වීම (අවුරුදු 12ට පෙර)
■ කල්ගතවී ආර්තවහරණය සිදුවීම. (අවුරුදු 55න් පසුව)
■ වෛද්‍ය උපදෙස් නොමැතිව දීර්ඝකාලීනව ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු ඖෂධ ලබාගැනීම.
■ කලින් ඩිම්බ කෝෂ හෝ පියයුරු පිළිකා වැලඳී තිබීම,
■ පිළිකා නොවන වෙනත් සමහර පියයුරු ආශ්රිත රෝගී තත්ත්වයන් වැලඳී තිබීම. (උදාහරණ ලෙස fibroadenoma තත්ත්වයන්).

පහත දැක්වෙන අවදානම් සාධක ඇති අයට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම ඉතා වැඩිය.
■ ලේ ඥාතීන්ට පියයුරු ඩිම්බකෝෂ පිළිකා වැලඳී ඇත්නම් (විශේෂයෙන් ම එම ඥාතීන්ට වයස අවුරුදු 50ට පෙර පිළිකා වැලඳී ඇත්නම්).
■ ජානවල යම් අසාමාන්‍යතා හඳුනාගෙන ඇත්නම්. (BRCA 1, BRACA 2 ජානවල අසාමාන්‍යතා).
■ විකිරණ ප්‍රතිකාර සඳහා නිරාවරණයවීම (විශේෂයෙන් අවුරුදු 30ට පෙර.).

පියයුරුවල වෙනසක් ඇත්නම් පරීක්ෂාව සඳහා ඔබ යා යුත්තේ;

■ රජයේ රෝහලක බාහිර රෝගී අංශයට.
■ ඔබ ප්‍රදේශයේ ඇති සුවනාරි සායනය වෙත.
■ ඔබ ප්‍රදේශයේ සුව දිවි මධ්‍යස්ථානය වෙත.
■ ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත.
■ පිළිකා කලින් හඳුනාගැනීමේ ජාතික සායනය වෙත. (අංක : 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.)
■ පෞද්ගලික රෝහලකට.
■ සෞඛ්‍ය වෛද්‍ය නිලධරී, මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය, මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනී හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී වෙත.

පියයුරු පිළිකාව කලින් හඳුනාගැනීමෙන් සුවකළ හැකි පිළිකාමය තත්ත්වයකි. මාසයකට දවසක් ස්වයං පියයුරු පරීක්ෂාවේ යෙදීම අනිවාර්ය වේ.

ස්වයං පියයුරු පරීක්ෂාව යනු;

● කණ්ණාඩියක් ඉදිරිපස සිටගෙන දකුණු පියයුර පරීක්ෂා කරනවා නම් දකුණු අත හිස පිටුපසට තබාගන්න.
● දැන් ඔරලෝසුවේ කටුව කැරකෙන දිශාවට අත්ල තබමින් පරීක්ෂා කරමින් යන්න.
● ගැටිති ස්වභාවයක් හසු වෙනවාදැයි බලන්න.
● කිහිලි සහ බෙල්ලත් මේ සමගම පරීක්ෂා කරන්න.
● වයස අවුරුදු 30ට හා ඊට අඩු නම් මාසික ස්වයං පියයුරු පරීක්ෂාව.
● වයස 40 – 49 නම්, අවුරුදු 2කට වරක් mammography තිර පරීක්ෂාව,
● වයස 49ට වැඩි නම් අවුරුද්දකට වරක් mammography තිර පරීක්ෂාව.

රෝග විනිශ්චය සඳහා

■ සායනික පරීක්ෂාව.
■ Mammography පරීක්ෂා.
■ අති ධ්වනි පරිලෝකනය (Ultra Sound Scan).
■ එම්. ආර්. අයි. පරීක්ෂාව(MRI).
■ බයොප්සි (Biopsy).
මේ සියලු‍ දේ ඔබට පිළිකාමය තත්ත්වයක් තිබෙන බව හඳුනාගැනීම සදහා ය.

පියයුරු පිළිකාව සඳහා සිදුකෙරෙන ප්‍රතිකාර ප්‍රධාන ආකාර 3කි.
★ ශල්‍ය ප්‍රතිකාර – Surgery
★ කීමො තෙරපි ප්‍රතිකාරය – Chemotherapy
★ විකිරණ ප්‍රතිකාර – Radiotherapy

ශල්‍ය ප්‍රතිකාර (Surgery).

මේ සඳහා ශල්‍ය වෛද්‍යවරුන් එම පිළිකාමය තත්ත්වයේ ස්වභාවය අනුව, සුදුසු ශල්‍ය ප්‍රතිකාරය තීරණය කරනු ලබයි. මෙය පියයුර ම ඉවත් කිරීම හෝ (Mastectomy) කොටසක් ඉවත් කිරීමක් විය හැකිය. එසේම, අත් යට වසා ගැටිති ද ඉවත් කරනු ලබයි.

මෙම ශල්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් පසු ඒ සඳහා අප කළ යුතු දේ මොනවාද? තවදුරටත් පරෙස්සම් විය යුතු ආකාරය කෙසේද?

රෝහලේ සිටින කාලය තුළ දී සැරහුම් දැමීම සිදුකරනු ලබයි. නමුත් තුවාලයේ වෙනසක් තිබේ නම්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.

ශල්‍ය තුවාලයට දියර වෑස්සුම් නළයක් (Drainage tube) සම්බන්ධ කර ඇත්නම් එහි පරිමාව, පැහැය පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුය. එම වෑස්සුම් නළය අවහිර නොවී තිබීම අත්‍යවශ්‍ය ය. අදාළ දිනයට එය ඉවත් කර තුවාලයේ මැහුම් ද කපාගත යුතුය.

තුවාලයෙන් පිටවන ස්‍රාවයන් ගැන සැලකිල්ලෙන් පසුවිය යුතුය. ඒවායේ පැහැය පිළිබඳව සහ එම ස්ථානයේ යම්කිසි ඉදිමුමක් හෝ රතුවීමක් තිබේදැයි විමසිලිමත් විය යුතුය.

රෝහලෙන් පිටවී නිවසට ගිය පසුව නියම කරන ලද ඖෂධ, ඒ ආකාරයෙන් ම ගත යුතුය. ශල්‍ය තුවාලය නිතර ම වියළිව තබාගත යුතුය. දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන්නේ නම්, එයට ලබාගන්නා ඖෂධ ද නියමිත පරිදි ගත යුතුය.

ශල්‍යකර්මය සිදු කළ පැත්තේ ඇති අතෙන් රුධිරය ගැනීම, රුධිර පීඩනය මැනීම ආදී වෛද්‍ය පිළිවෙත්වල දී ඒ පිළිබඳව වෛද්‍යවරයා සහ හෙදිය දැනුවත් කළ යුතුය.

තද පටි බැඳීම, නූල් බැඳීම, අත් හිර ඇඳුම් ඇඳීම, බර ඉසිලීම, දරුවන් වඩාගැනීම නොකළ යුතුය.

අදාළ භෞත චිකිත්සක ව්‍යායාම (භෞත චිකිත්සකවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව) නිසි පරිදි කළ යුතුය.

කීමො තෙරපි ප්‍රතිකාර (Chemotherapy treatments)

කීමො තෙරපි ප්‍රතිකාර ලෙස හඳුන්වන්නේ, සැකසූ ඖෂධ වර්ග සේලයින් දියර සමඟ මිශ්‍ර කර ශිරාවක් මඟින් රුධිරය වෙත ලබාදීම වේ. (IV)

ශල්‍ය ප්‍රතිකාරවලින් පසුව හෝ ඊට පෙර රෝගියාට Chemotherapy ප්‍රතිකාර ලබාදීම ආරම්භ කරයි.

මෙම Chemotherapy ප්‍රතිකාර රෝහල්ගතවීමෙන් හෝ රෝහල්ගත නොවී ලබාගත හැකිය.

මෙම කීමො තෙරපි ප්‍රතිකාර ලබාදිය යුත්තේ, පළපුරුදු හෙදියක විසිනි. එම ඖෂධ ලබාගන්නා කාලයේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු රැසක් තිබේ.

ඖෂධය සේලයින් සමඟ මිශ්‍ර කර ලබාදෙන අවස්ථාවේ දී කැනියුලාව සම්බන්ධ කළ ස්ථානයේ සම ඉදිමීමක් ඇතිවේ නම් වහාම හෙදිය දැනුවත් කළ යුතුය.

ඖෂධය ලබාගන්නා කාලයේ වෙනදාට වඩා හොඳින් ජලය පානය කළ යුතුය.

මෙම Chemotherapy ප්‍රතිකාරය නිසා රෝගියාට වමනය, ඔක්කාරය ඇතිවිය හැකි අතර, ඒ සඳහා ඖෂධ, හෙදියක විසින් ලබාදෙනු ඇත.

Chemotherapy ප්‍රතිකාරය ලබාදෙන කාලය අතරතුර දී ආහාර අරුචිය ඇති වන්නට ඉඩ තිබෙන නිසා කෙටි ආහාර වේල් තමන්ට රුචි පරිදි ලබාගත යුතුය. විශාල ප්‍රමාණයක් නොගත යුතුය. (නමුත්, ලබාගන්නා ආහාර පෝෂ්‍යදායි ආහාර විය යුතුය) දිවට අමිහිරි රසයක් දැනේ නම්, ඇඹුල් පලතුරක් (වෙරළු ගෙඩියක්, නාරං බිකක්) නිතර රස බැලීම සුදුසු ය.

නිවසේ සියලු‍දෙනා එකම වැසිකිළිය භාවිත කරන්නේ නම්, Chemotherapy ප්‍රතිකාර ලබාගන්නා රෝගියාගේ මුත්‍රා, මලපහ හොඳින් සෝදා පිරිසිදු කළ යුතුය.

මෙම කීමො ප්‍රතිකාර ලැබීමෙන් පසුව එහි තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් වැටීම (Alopecia) සිදුවේ. එම නිසා එම කාලය තුළ දී කෘත්‍රිම කෙස් කළඹක් (උසට) පැලඳීමට හැකිය. මෙම සියලු‍ අතුරු ප්‍රතිඵල තාවකාලික වන අතර, Chemotherapy ප්‍රතිකාර අවසන්වූ පසු නැවත හිසකෙස් යථා පරිදි වර්ධනය වේ.

නියපොතු දුර්වර්ණ නම් නිය ආලේපන භාවිත කිරීම වරදක් නැත.

මෙම ප්‍රතිකාරය ලබාගන්නා විට සිරුරේ ඇති සෑම සෛලයක් ම බෙදීම නවතින අතර මේ නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩුවේ.
(රුධිරගත සුදු රුධිරාණු ප්‍රමාණය අඩු වන නිසා) එම නිසා වැඩි වශයෙන් ජනයා ගැවසෙන ස්ථානවලින්, බෝවන රෝගවලින් පෙළෙන්නන්ගෙන් හැකි තරම් ඈත්වී සිටීම
සුදුසු ය.

විකිරණ ප්‍රතිකාර (Radiotherapy Treatment)

ශල්‍ය ප්‍රතිකාර, කීමො තෙරපි ප්‍රතිකාර ලබාදුන් පසුව හෝ නැතහොත් එක ම ප්‍රතිකාරය ලෙස විකිරණ ප්‍රතිකාරය ලබාදෙයි.
රෝගියාගේ වයස සහ පිළිකාවේ ස්වභාවය අනුව මෙය තීරණය වේ. එය විශේෂඥ වෛද්‍යවරයා (Consultant Oncologist) විසින් ගන්නා තීරණයකි.

මෙම ප්‍රතිකාරය කිරීමට පෙර ස්ථානය ලකුණු කිරීම, එය මත සලකුණු කිරීම වැනි කටයුතු කිරීම අවශ්‍ය වේ. මෙම ප්‍රතිකාරය විකිරණ ශිල්පීන් විසින් සිදු කරනු ලබයි.

විකිරණ ප්‍රතිකාර (Radiotherapy Treatment) ලබාගන්නා අතරතුර සැලකිලිමත් විය යුතු කරුණු.

■ නියම කළ දින ගණනට අනුව ප්‍රතිකාර ලබාගත යුතුය.
■ සලකුණු කළ ස්ථානවල සලකුණු ප්‍රවේසම් කරගත යුතුය.
■ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර එම ස්ථානය මෘදු සබන් වර්ගයක් යොදා සේදිය හැකි අතර, තදින් ඇතිල්ලීමෙන් වැළකිය යුතුය.
■ සමේ එම ස්ථානයේ දහදිය රැඳීම ගැන සැලකිලිමත් විය යුතුය.
■ එම ස්ථානයේ සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග හෝ ලෝෂන් ආලේප කිරීමෙන් වැළකිය යුතුය.
■ සම ගැලවී යාමක්, තුවාලවීමක් වී නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
■ ප්‍රතිකාර ගන්නා කාලයේ දී සමබල ආහාර වේලක් ගැනීම අත්‍යවශ්‍ය ය.
■ සම අධික හිරු එළියට නිරාවරණය නොකළ යුතුය.
■ නියමිත ප්‍රතිකාර අවසන්වූ පසුව ඔබගේ සුපුරුදු රූපලාවණ්‍ය කටයුතු ආරම්භ කරන්නට හැකිය.

මේ සියල්ල රෝගියාට තනිව සිදුකරගන්නට අපහසු ය. ඇයගේ පවුලේ සමීපතමයන්ගේ සම්පූර්ණ සහයෝගය ඇයට ලැබිය යුතු ම අවස්ථාවකි. ඇයට අවශ්‍ය ම මොහොතේ ඇය ළඟින් හිඳ පියයුරු පිළිකාවට අභියෝග කරන්නට, සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වන්නට දිරිය දීම ඔබේත්, අපේත් වගකීමකි.

හෙද නිලධාරිනී චතුරිකා හේවගේ
(Diploma in Psychiatry and Counselling)
(අපේක්ෂා රෝහල, මහරගම)

සටහන – ශෂිකා තල්පෙහේවා