Health

පිළිකා රෝගීන්ගේ අපේක්ෂා දල්වමු

මිනිසෙකුට තම ජීවිත කාලය තුළ දී අත්දකින්නට ලැබෙන බොහෝ දේ අතර වඩාත්ම ගැඹුරින් ජීවිතාවබෝධය ලබාගැනීමට අවැසි නම්, මහරගම අපේක්ෂා රෝහල ඊට බොහෝ නිදසුන් සපයයි. අද වනවිට පිළිකා රෝගය බෝවන රෝගයක් මෙන් ලොකු කුඩා කා අතරත් පැතිර ගොස් හමාර ය. තමන්ට පිළිකාවක් වැලඳී ඇති බවට වෛද්‍යවරයා තහවුරු කළ පසු එය විශ්වාස නොකරන බොහෝදෙනා එයින් පසුව දැඩි මානසික කඩා වැටීමකට ලක්වේ. එම මානසික කඩාවැටීම ආතතියක් වී (Stress) පසුව විශාදය (Depression) දක්වාම වර්ධනය විය හැකිය. සමාජ තරාතිරම කුමක් වුවත්, බොහෝදෙනෙකුට පිළිකා රෝගය වැන්නකට මුහුණදීමට හිත හදාගත නොහැකිය. තම ජීවිත කාලය තුළ දී කොතෙකුත් පිළිකා රෝගීන් දැක තිබුණ ද, තමාට එවැන්නක් සිදුවීම කිසිවෙකුත් අපේක්ෂා නොකරන්නකි. එය එසේ වුවහොත් එය දැඩි මානසික පසුබෑමක් විය හැකිය. අලුත උපන් කුඩා ළදරුවා පටන් මහලු විය දක්වා දිවෙන වයස් පරාසය තුළ කවුරුන් හෝ කෙනෙකු අපේක්ෂා රෝහලේ ඇඳන් මත ජීවිතය අපේක්ෂා කරති. ඔවුන් මේ ගෙවා දමන්නේ තම ජීවිතයේ කුමන අවධියක් වුවත් ජීවිතයේ බොහෝ දේ කරන්නට තවත් ඉතිරිව තිබෙනු ඇත. ඔවුන්ට බලාපොරොත්තු, සිහින බොහෝ තිබෙනු ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වාගැනීම මෙන්ම මානසික සෞඛ්‍යය ද යහපත් මට්ටමේ පවත්වාගැනීම පොදුවේ ගත් කල මහත් අභියෝගයකි.

ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා ඇපකැප වන මහරගම අපේක්ෂා රෝහල මගින් ක්‍රියාත්මක කර ඇති මනෝ උපදේශන ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන ඒකකය ඉතා භාරධූර කාර්යයක් උදෙසා කැපවී සිටිති.

අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් අතර බොහෝදෙනා මානසික ආතතියෙන් පෙළෙන අතර, ඔවුන් වටා ඇති නෙයෙකුත් සමාජයීය, මානුෂීය හා ආර්ථික ගැටලු හමුවේ තමන් මුහුණ පා සිටින රෝගී තත්ත්වය බද්ධවීම නිසා මේ මානසික ආතතිය තීව්‍රවී එය විශාදය (Depression) දක්වා වර්ධනයවීමට ඉඩ තිබේ.

Depression හෙවත් විශාදය අද ලොව බොහෝදෙනාට වැලඳෙන මානසික ආබාධයකි.
විශාදය ආකාර 3කි.
■ Mild Depression සුළු විශාදය
■ Moderate Depression මධ්‍යම විශාදය
■ Severe Depression උග්‍ර විශාදය ලෙස වේ.

ආතතියක් (Stress) විශාදය කරායාමට ඒ ආතතියේ ස්වභාවය, එකිනෙකාගේ පෞරුෂය, පවුලෙන් සහ වටපිටාවෙන් ලැබෙන සහයෝගය යන කරුණු බලපායි.

විශාදය OCD (Obsessional Compulsory Disorder) යන එකම දේ නැවත නැවත කිරීමේ ආබාධයේ දී ඇතිවිය හැකිය.

එසේම Social Anxiety (සමාජමය කාංසා තත්ත්ව) හා Alcohol නිසා ද, හින්නොන්මාදයේ දී ගන්නා ඖෂධ නිසා ද ඇතිවිය හැකිය.

තව ද, ජාන හා පාරිසරික සාදක එකතුවීමෙන් ද ඇති වේ. එහිදී 37%ක් ජානමය සාදක ද, 20%ක් පාරිසරික සාදක ද බලපායි.

විශාදයේ දී Serotonin, Noradrenaline යන මොළයේ රසායනික අඩු වේ.

විශාදය හඳුනාගන්නා ප්‍රධාන ලක්ෂණ
1. දිගින් දිගට ම පවතින දුක සති 2කට වඩා වැඩිවීම. (Persistent Sadness)
2. ශක්තිය හීනවීම. (Anergy)
3. වෙනදා කළ විනෝදාංශ/ක්‍රියාවන්වලින් දැන් තෘප්තිමත් නොවීම. (Anhedonia)

අනු ලක්ෂණ
1. නින්ද අඩුකම හෝ නින්ද නොයාම.
2. ආහාර අරුචිය හෝ වැඩිපුර ආහාර ගැනීම.
3. අවධානය අඩුවීම.
4. නිතරම ඍණ සිතුවිලි සහිතවීම.
5. අමතකවීම.
6. නිතර කේන්ති ගැනීම.
7. ලිංගික ආශාව අඩුවීම.
8. ආත්ම විශ්වාසය නැතිවීම.
9. තමාගෙන් පලක් නැතිබව නිතර සිතීම.
10. මල බද්ධය ඇතිවීම.
11. මේ තත්ත්වය උග්‍ර වූ විට hallucinations එනම් විවිධ ශබ්ද, රූප, රස, ස්පර්ශ, සුවඳ දැනීම.
12. සියදිවි හානිකරගැනීමට සිතීම හා උත්සාහ කිරීම.
13. විවිධ වූ මනෝ විශ්වාසයන් ඇතිකරගැනීම. (delusions).
මෙම මූලික ලක්ෂණ 3 සමග අනුලක්ෂණ 4ක් තිබේ නම්, එය Severe depression (උග්‍ර විශාදය) වේ. රෝගියාගේ කතාබහ අඩු වේ. නොපමාව ප්‍රතිකාර පටන්ගත යුතුය.

මූලික ලක්ෂණ 2ක් සමග අනුලක්ෂණ 3ක් තිබේ නම් Moderate depression (මධ්‍යම විශාදය) වේ. මෙම රෝගීන් තම තමන්ගේ වැඩ කටයුතු කරගනී. නින්ද අඩු ය. ප්‍රතිකාර සමග උපදේශනය ද අවශ්‍ය වේ.

මූලික ලක්ෂණ 2ක් සමග අනු ලක්ෂණ 2ක් තිබේ නම් Mild depression (සුළු විශාදය) වේ. මෙහිදී ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර උපදේශනය පමණක් ප්‍රමාණවත් වේ.

අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට මානසික ආතතිය ඇතිවීමට බලපාන සාධක
■ ඔවුන්ට පිළිකාවක් වැලඳුණු බවට තහවුරු වූ පසු එය පිළි නොගැනීම.
■ තවදුරටත් තම රෝගී ස්වභාවය හා රෝගී තත්ත්වය පිළිබඳ සැකසංකා ඇතිකරගැනීම.
■ තමන්ගේ රෝගය නිසා තම සමීපතමයන් ගැන කනස්සලුවීම. (උදා: දරුවන්ගේ කටයුතු, රැකියා කටයුතු හා එදිනෙදා නවසේ කටයුතු පිළිබඳ.)
■ පාසල් වියේ පසුවන දරුවෙකු නම්, එදිනෙදා පාසලේ වැඩ කටයුතු අතපසුවීම, ක්‍රීඩා කටයුතුවලින්, තම සම වයසේ මිතුරු මිතුරියන්ගෙන් කෙටි කලකට හෝ ඈත්වීමට සිදුවීමෙන් ඔවුන්ට පරාජිත හැඟීමක් දැනීම.
■ පිළිකා රෝගී දරුවන්ගේ මව්වරුන්ට තම දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳ සිතමින්ම සිටීම සහ රෝගී දරුවා සමග කලක් රෝහල්ගතව සිටීමට සිදුවීම නිසා දුක්වෙමින් සිටීම.
■ වයස්ගත වූවත් තම දරු මුණුබුරන් පිළිබඳ සිතමින් සිටීම.
■ රෝගයට මුහුණදීමට තරම් ආත්ම විශ්වාසයක් නොමැතිවීම.

අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා යම් රෝගියෙකුට මානසික උපදේශනය අවශ්‍ය බව හඳුනාගත් පසුව ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා විසින් අදාළ මානසික උපදේශන ප්‍රතිකාර ඒකකය සඳහා එම රෝගියා යොමුකෙරේ. ඉන්පසුව තවදුරටත් එම රෝගියාට උපදේශනය පමණක් ප්‍රමාණවත් නොවේ යැයි හැඟී ගියහොත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකරනු ලබයි. විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොළආරච්චිගේ වෛද්‍යතුමා ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් තුන්දෙනෙකු තම රෝගීන්ගේ සුවසෙත පිණිස සේවාව සපයනු ලබයි.

අපේක්ෂා රෝහලේ මානසික උපදේශන ප්‍රතිකාර ක්‍රියාත්මක වන ආකාරය
■ මනෝ උපදේශනය.
■ මනෝවෛද්‍ය ප්‍රතිකාර.
■ ආධ්‍යාත්මික ප්‍රතිකාර.
■ සමාජ සංවර්ධනය.
■ ආර්ථික සංවර්ධනය.
ආදී වශයෙන් ප්‍රධාන වේ.

රෝගීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඔවුන් විවිධාකාර නිර්මාණ කටයුතු, ක්‍රියාකාරකම් ආදියේ නිරත කිරීම. (උදා: විසිතුරු භාණ්ඩ නිපදවීම, මැහුම් ගෙතුම්, අලංකාර සුබපැතුම් පත් සැකසීම වැනි දේ)
■ චිත්‍ර ඇඳීම මගින් චිත්‍ර ප්‍රතිකාරය (Art therapy).
■ සංගීතය මගින් ප්‍රතිකාරය (Music therapy).
■ යෝග ව්‍යායාම මගින් මානසික සහනය සැලසීම.
■ සමූහ උපදේශන සේවාව (පිළිකා රෝගයට ගොදුරුවූ රෝගීන් මෙන්ම රෝගයෙන් සුවය ලැබූවන් ද සමග අත්දැකීම් බෙදාහදාගැනීම).
■ නවීන සාර්ථක ප්‍රතිකාර ක්‍රම හමුවේ පිළිකා රෝගය සාර්ථකව මර්දනය කළ හැකි බවත්, ඉන් සුවය ලැබූවන් සාමාන්‍ය පරිදි ජීවිතය ගතකරන අයුරුත් පෙන්වාදීම.
■ සති භාවනාව (Mind Fullness) සති භාවනාව මගින් අතීතය හෝ අනාගතය ගැන නොසිතා වර්තමානය තුළ ජීවත්වීමට සිත පුහුණු කෙරේ. (නවතම සොයාගැනීම්වලට අනුව අපගේ මොළයේ සතුටු රසායනික Serotonin, Noradrenaline, Dopamineවල සාන්ද්‍රණය ඉහළ දැමීමට Mindfulness ප්‍රතිකාරය හේතුවන බව තහවුරු කර ඇත.)

සාර්ථකව උපදේශන සේවාව ලබාදීමෙන්,
■ රෝගයට සාර්ථකව මුහුණදීමට රෝගියාගේ ආත්ම ශක්තිය වර්ධනය වේ.
■ සිතේ සැහැල්ලුව ඇතිකර ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වේ.
■ පිළිකා රෝගයට ලබාදෙන ඖෂධ ප්‍රතිකාර නිසා ඇතිවන අතුරු ආබාධ පාලනය වේ.

පිළිකා රෝගයට ගොදුරුවූවෙකුගේ පවුලේ අය කටයුතු කළ යුතු ආකාරය
■ රෝගියා සමග වෙනදාටත් වඩා සමීපව කටයුතු කිරීම.
■ ඔවුනට වඩ වඩාත් ආදරය, සෙනෙහස දැක්වීම.
■ ඔවුන් තනි වී නොමැති බව දැනෙන්නට සැලැස්වීම.
■ ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට රෝගියෙකු ලෙස නොසලකා සහාය දීම.
■ ඔවුන්ගේ සිතට සතුට ගෙනදෙන ක්‍රියාකාරකම්හි යෙදෙන්නට ඉඩ සැලසීම.
යන ආදී සියලු කාරණා මගින් අපේක්ෂා රොහලේ මානසික උපදේශනය හරහා රෝගියාගේ පවුලේ අය දැනුවත් කරනු ලබයි.

මීට අමතරව අපේක්ෂා රෝහලේ මානසික උපදේශන ඒකකයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් සහ පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරිනියක් ද එහි සේවය වෙනුවෙන් කැපවී සිටිති.
ඒ අතර,
■ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පාසල් වියේ පසුවන දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීම.
■ දෙමව්පියන්ගෙන් කෙනෙකු දැනටමත් අහිමි වූ එසේම, ඉතිරිව සිටින මව හෝ පියා ද පිළිකා රෝගියෙකු නම් එම දරුවන් විශේෂයෙන් රැකබලාගැනීමට වැඩපිළිවෙළ සැකසීම.
■ ආර්ථික අපහසුතාවලින් පෙළෙන රෝගින් සඳහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නගාසිටුවන්නට ස්වයං රැකිය ණය පහසුකම් ලබාදීම.
මේ ආදී සියලුම දේ මහරගම අපේක්ෂා රෝහලේ මනෝ උපදේශන ආධ්‍යාත්මික සංවර්ධනය ඒකකය මගින් ඉටු කෙරේ. මේ සියල්ල ම පිළිකා රෝගය නම් වූ දරුණු රෝගය සමග නිරතුරුව සටන් වදිමින් ඒ සමගම ජීවන අරගලය සමග ද සටන් වැදීමට සිදුවූ අප සමාජයේ මිනිසුන් උදෙසාමය. ඔවුන්ට ඖෂධ ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර සේම මානසික ප්‍රතිකාර ද එකලෙසම අවශ්‍යය. එසේ වුවොත් ඔවුන්ට තම රෝගය යටපත් කරගනිමින් සාර්ථකව පාලනය කරගනිමින් ජීවිතයට නොබියව මුහුණ දෙන්නට ධෛර්යය ලැබෙනු ඇත. අද හෝ හෙට හෝ මරණය ඔබ අප කරා ද පැමිණෙන බව අප ද හොඳින්ම දනිමු. එතෙක් තවකෙකුට පිළිසරණක් වන්නට හැකි ලෙසකින් දායක වෙමු.

හෙද නිලධාරිනී චතුරිකා හේවගේ
(Diploma in Psychiatry and Counselling)
(මනෝ උපදේශන, ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන ඒකකය, අපේක්ෂා රෝහල, මහරගම)

සටහන – ශෂිකා තල්පෙහේවා