Health

කිරි දෙන මවක් දැනගත යුතු ම දේ

අලුත උපන් බිළිඳෙකුගේ එකම ආහාරය වෙන්නේ මව්කිරි විතරයි. වයස මාස 6ක් වනතුරු බිළිඳාට මව්කිරි පමණක් ලබාදීමේ දී මවට විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ ගැන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මව්කිරි කළමනාකරණ ඒකකයේ හෙද නිලධාරිනී තුෂාරිකා විජේරත්න මහත්මිය විසින් පැහැදිලි කළ ආකාරයයි මේ.

කිරි දෙන මවකට මව් කිරි නිෂ්පාදනය අඩුවීමට බලපාන හේතු මොනවාද?

පියයුරු තුළ හැදෙන කිරි පියයුරෙන් ක්‍රමාණුකූලව ඉවත් නොවුණේ නම් කිරි නිපදවීම අඩු වෙනවා. මවගේ මානසිකත්වය වගේම මව දියර පානය කරන ප්‍රමාණය අඩුවීම ආදිය මව්කිරි නිෂ්පාදනය අඩුවීමට බලපාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිරි දෙන මවක් අවම වශයෙන් දිනකට දියර ලීටර් 3ක් වත් පානය කළ යුතු වෙනවා. ඒ වගේම කිරි දෙන මවක් කෝපි පානය කිරීම සුදුසු නැහැ. එය මව්කිරි නිෂ්පාදනයට බලපාන්න පුළුවන්.

සාමාන්‍යයෙන් දිනකට නිෂ්පාදනය වන මව්කිරි ප්‍රමාණයක් තිබෙනවාද?

කිරි නිෂ්පදනය වෙන්නේ බිළිඳා කිරි උරන ප්‍රමාණය අනුවයි. බිළිඳා වැඩිපුර කිරි උරනවා නම් වැඩිපුර මව්කිරි නිෂ්පාදනය වෙනවා. බිළිඳා කිරි උරා බොන්නේ අඩුවෙන් නම් නිෂ්පාදනය වන මව්කිරි ප්‍රමාණයත් අඩුයි. නොමේරූ දරු උපත්වල දී බිළිඳා මවට දෙන්නේ නැතිව ළදරු දැඩි සත්කාර ඒකකයට යවන අවස්ථාවල මව අනිවාර්යයෙන් ම පැය දෙකක් හෝ තුනකට වතාවක්වත් කිරි දොවා ඉවත් කළ යුතුයි. එහෙම නොවුණොත් බිළිඳාට මව්කිරි ලබාදෙන අවස්ථාව වනවිට මවට ඒ අවශ්‍ය ප්‍රමාණයට කිරි දොවාගැනීමට අපහසු වෙන්න පුළුවන්.

මවගේ පියයුරුවල ප්‍රමාණය මව්කිරි නිෂ්පාදනයට බලපානවාද?

පියයුරුවල ප්‍රමාණය, හැඩය හෝ තන පුඩුව පිහිටා තිබේද නැද්ද කියන කාරණා කිසිවක් මව්කිරි නිෂ්පාදනයවීමට බලපාන්නේ නැහැ.

සාර්ථකව බිළිඳාට මව්කිරි දෙන්නේ කොහොමද?

දරුවෙක් ලැබෙන්න ඉන්න කාලෙ ම, ඒ කියන්නේ පූර්ව ප්‍රසව අවදියේ දී ම මවක් තමන්ගේ කිරි විතරක් ම දරුවාට දෙනවා කියලා මනස සූදානම් කරගෙන ඉන්න ඕනෙ. ඒ නිසා ම තමයි පූර්ව ප්‍රසව අවදියේ දී මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්නේ. ඉන් මවගේ මනස එයට සූදානම් කිරීමක් සිදු වෙනවා. ඒ වගේම දරුවාට මව්කිරි දෙන අවස්ථාවේ මව පහසු ඉරියව්වකින් වාඩිවී සිටීමත්, දරු ප්‍රසූතියෙන් පසු මවට තවදුරටත් වේදනා පවතී නම් වෛද්‍ය උපදෙස් මත වේදනාව සමනය කර ගැනීමට ඖෂධයක් ලබාගැනීම වැදගත්.

දරුවෙකුට කිරිදෙන විශේෂිත ඉරියව් තිබෙනවා නේද?

සාමාන්‍යයෙන් දරුවෙකුට කිරි දෙන ආකාර 4ක් තිබෙනවා. මේ ක්‍රම හතරේ පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. වාඩිවෙලා මව් කිරි දෙනවිට දරුවා මව දෙසට සම්පූර්ණයෙන් හැරී මවට ඉතා ම සමීපව අල්ලාගත යුතු වෙනවා. (මවගේ පපුව දරුවාගේ පපුවට ගෑවෙන සේ) ඒ වගේම දරුවාගේ නහය සහ මවගේ තන පුඩුව එකම මට්ටමට එන සේ දරුවා ඇල්ලිය යුතු වෙනවා. දරුවාගේ හිස සහ උරහිස පමණක් නොව මුළු ශරීරය ම මවගේ අත දිගේ එන සේ දරුවා අල්ලා ගත යුතුයි. එවිට හිස සහ ශරීරය එක ම රේඛාවක පිහිටයි. එවිට මවත් දරුවාත් එකිනෙකාගේ මුහුණට මුහුණ දැකිය හැකි ආකාරයට මව් කිරි දීමෙන් දරුවා සහ මව අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා.

මව් කිරිදීම සඳහා බිළිඳා නිවැරදිව පියයුරට සම්බන්ධ කර ගන්නේ කොහොමද?

දරුවාගේ දෙතොල් තන පුඩුවට ස්පර්ශ කරන විට දරුවා මුඛය විවර කරනවා. එවිට දරුවා පියයුරට සම්බන්ධ කර ගන්න පුළුවන්. දරුවා නිවැරදි ආකාරයට පියයුර ග්‍රහනය කරගෙන ඉන්නවා නම් පොදු ලක්ෂණ කිහිපයකින් එය නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුවැන්න තමයි දරුවා “ආ” කියන ආකාරයෙන් කට සම්පූර්ණයෙන් ම විවෘත කරලා තියෙන්න ඕනෙ. දරුවාගේ යටි තොල පෙරළිලා තියෙන්න ඕනෙ. තන පුඩුව සහ තන පුඩුව වටා ඇති කළු පැහැති කොටස (ඇරියෝලාව) දරුවාගේ කට තුළට හොඳින් ඇතුළු වෙලා තියෙන්න ඕනෙ. පියයුර දරුවාගේ නිකටේ හොඳින් ස්පර්ශ වෙලා තියෙන්න ඕනෙ. ඒ වගේම දරුවා කිරි උරන විට කම්මුල් හොඳින් පිම්බෙන්න ඕනෙ.

ඒ වගේම දරුවා පියයුර ග්‍රහණය කරගෙන ඉන්නේ වැරදියට නම් පහත ලක්ෂණවලින් එය හඳුනාගන්න පුළුවන්. දරුවා කට හොඳින් “ආ” කියන ආකාරයට අරින්නේ නැතිව “ඌ” ආකාරයට ඇරලා තියෙනවා නම් ඉන් අදහස් වෙන්නේ දරුවාට පියයුර නිවැරදිව ග්‍රහණය වෙලා නැහැ කියන එකයි. ඒ වගේම දරුවාගේ කට තුළට තන පුඩුව මිස ඇරියෝලාව ඇතුළු වෙලා නැත්නම් දරුවා නිසි ආකාරයට පියයුර ග්‍රහණය කරගෙන නැහැ. අනිත් කාරණය තමයි දරුවාගේ නිකට පියයුරේ ස්පර්ශ වෙන්නේ නැතිනම් සහ දරුවා කිරි උරන විට කම්මුල් පිම්බෙනවා වෙනුවට කම්මුල්වල වළ ගැහෙනවා නම් දරුවා නිසි ආකාරයට පියයුර ග්‍රහණය කරගෙන නැහැ. ඒ වගේම කිරි උරද්දී ශබ්දයක් නැගෙන්නෙත්, තන පුඩුවෙන් වේදනාවක් ඇති වන්නෙත් දරුවා නිසි ආකාරයට පියයුර ග්‍රහණය කරගෙන නැති අවස්ථාවලයි.

නිවැරදි ආකාරයට පියයුර ග්‍රහණය කරගෙන නැත්නම් එය නිවරුදිව සකස් කර ගන්නේ කොහොමද?

එහිදී එකපාරට ම පියයුර දරුවාගේ කටින් ඇදලා ඉවත් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා ම මවගේ සුළැඟිල්ල දරුවාගේ කට කොනකට ළං කළා ම දරුවා තන පුඩුව අතහැර ඇඟිල්ල අල්ලා ගන්නවා. ඉන් පස්සේ හෙමීට පියයුර දරුවාගේ කටින් ඉවත් කරලා නිවැරදි ආකාරයට ග්‍රහණය කරගන්න සලස්වන්න පුළුවන්.

එක් වරකට දරුවාට කොච්චර වෙලාවක් කිරි දෙන්න ඕනෙද?

ඒකට නියමිත වෙලාවක් නැහැ. කිරි උරා බී හොඳින් බඩ පිරුණු පසු දරුවා විසින් ම තන පුඩුව අතහරිනු ලබනවා. ඒ දක්වා කිරි දීම වැදගත්. සාමාන්‍යයෙන් නියමිත ආකාරයට ස්ථාපිතවී කිරි බීම ආරම්භ කළ දරුවෙක් විනාඩි 20ක් 30ක් විතර එක දිගට කිරි උරා බීමේ දී බඩ පිරෙනවා. එක් වරකට එක් පියයුරකින් සම්පූර්ණ කාලය ම කිරිදීම වැදගත්. එක් පියයුරකින් කිරි බී අවසන් වූ පසුවත් දරුවා දිගින් දිගටම හඬනවා නම්, හඬන්න වෙනත් හේතුවකුත් නැතිනම් අනිත් පියයුරෙන් කිරි ලබා දුන්නාට වරදක් නැහැ.

දරුවාට කිරි දීම පැය කීයකට වරක් කළ යුතු ද?

එය පැය ගණන්වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. බඩගිනි වුණා ම දරුවෙකුගෙන් දැකිය හැකි ලක්ෂණ කිහිපයක් (Hunger cues) තිබෙනවා. මුඛය විවර කර ඔළුව පැත්තකට හැරවීම, අත් කටේ දැමීම, ඇගිලි උරමින් සිටීම, තොල් ලෙවකෑම, වගේ ලක්ෂණවලින් දරුවාට බඩගිනි බව හැඟෙනවා. මව මෙම ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම් දරුවා හැඬීමට පටන්ගන්නවා. හැඬීමට පෙර අවස්ථාවේ මව්කිරි දීම වැදගත්. මව්කිරි ලබා දිය යුත්තේ දරුවාගේ අවශ්‍යතාව අනුවයි. (On demand feeding).

ගුඩුස් යැවීම හරියට කරන්නේ කොහොමද?

දරුවා කිරි උරන අවස්ථාවේ ගිලෙන වාතය ඉවත් කිරීම තමයි ගුඩුස් යවනවා කියන්නේ. ගුඩුස් යවන නිවැරදිම සහ ආරක්ෂිතම ක්‍රමය වෙන්නේ කිරි බීලා අවසන් වූ ගමන්ම මවගේ උරහිසට දරුවාගේ බඩ තෙරපෙන ආකාරයට ටික වේලාවක් තබාගැනීමයි. ගුඩුස් ගියත් නැතත් දරුවාට නින්ද ගියාට පස්සේ එක් ඇලයකට හරවා නිදි කරවීම වඩාත් සුදුසුයි. මෙහිදී හදිසියේ දරුවා කිරි වමනය කළොත් එම කිරි දරුවාගේ ස්වසන මාර්ගයට නොයා මුඛයෙන් පිටතට ගලා යාම සිදු වෙනවා.

හෙද නිලධාරිනී තුෂාරිකා විජේරත්න
(මව්කිරි කළමනාකරණ ඒකකය – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල)

සටහන – දුලංජලී මුතුවාඩිගේ