Health Guide

ආර්තව වේදනාව අඩු කරගන්නේ කොහොමද?

වැඩිවියට පත් වුණු සෑම ගැහැනු ළමයෙකුට ම මාසයකට වතාවක් මුහුණදෙන්න සිද්ධවෙන අත්දැකීමක් තමයි ආර්තව වේදනාව විඳින්න සිදුවීම. සමහර අයට මේ වේදනාව ඉතාම දැඩිව දැනුණත් සමහර අයට එය එතරම් අපහසු තත්ත්වයක් නොවෙයි. ආර්තව වේදනාව යටපත් කරගන්න පුළුවන් ක්‍රම ආයුර්වේදයේ ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම මේ වේදනාව සමනය කරගත හැකි විවිධ නවීන නිෂ්පාදනත් මේ වෙද්දි වෙළෙඳපොළේ තිබෙනවා. ඒ සියල්ලට ම අමතරව,

උණුසම් බෑග

උණුසුම් ජලය පිර වූ බෝතලයක් හෝ බෑගයක් උදරය මත තබාගෙන සිටීමේ ආර්තව වේදනාව සියයට 40කින් විතර අඩු කරගන්න පුළුවන්. මේ සඳහා ම නිෂ්පාදනය කර ඇති උණුසුම් ජලය පුරවා වැඩි වේලාවක් තබාගත හැකි ප්ලාස්ටික් බෑග සහ බෝතල් වෙළෙඳපොළේ තිබෙනවා. ඔබ ළඟ එවැනි උණුසුම් බෑගයක් නැත්නම් ඊට සමාන දෙයක් නිවසේ දී ම හදාගන්න පුළුවන්. මේ වැඬේට පාවිච්චි කරන්න පුළුවන් පහසු ම දෙයක් තමයි මේස්. මේස් කුට්ටම් දෙක තුනක් අරගෙන ඒවා තවත් මේස් එකක් ඇතුළට දාලා මයික්‍රොවේවි එකට දාලා රත් කරන්න. ඊට පස්සෙ රත් වූ මේස් උදරය මත තබාගන්න. එය සාර්ථක ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්ලාස්ටික් බෝතලයකට උණුසුම් ජලය පුරවා එය වේදනාව උඩුවන තුරු උදරය මත තබාගෙන සිටීමත් යම් තාක් දුරකට වේදනාව සමනය කර ගක හැකි ක්‍රමයක්.

Menstrual cup

අපේ රටේ තරුණියන් අතර ඒ තරම් ප්‍රචලිත නැතත් බටහිර වඩාත් ප්‍රචලිත ක්‍රමයක් තමයි මේ Menstrual cup කියන උපාංගය. ආර්තව දිනවලට මෙය පාවිච්චි කරනවා නම් සනීපාරක්ෂක තුවා පාවිච්චි කිරීම අවශ්‍ය නැහැ. පුනිලාකාර හැඩයකින් යුතු මෙය යෝනි මාර්ගය ඔස්සේ සිරුර තුළට ඇතුළු කළ හැකි ආකාරයට නිපදවා තිබෙනවා. එය පැලඳි විට යෝනි මාර්ගය ඔස්සේ සිරුරෙන් පිටවන රුධිරය එය තුළට එකතු වෙනවා. මෙය පැය 8ක් 12ක් විතර කාලයක් තබාගන්න පුළුවන්. ඉන් පසු එය සිරුරෙන් පිටතට ගෙන එහි පිරී ඇති රුධිරය ඉවත් කර ජලය බඳුනක බහා විනාඩි කීපයක් තම්බාගෙන නැවතත් පාවිච්චි කළ හැකියි. මෙය නිපදවා තිබෙන්නේ සිලිකන්වලින් නිසා සිරුරට හානියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඉන් රුධිරය පිටතට ගලා එන්නේ නැති නිසා සනීපාරක්ෂක තුවාවලට වඩා ආරක්ෂිතයි. සනීපාරක්ෂක තුවා පැලඳ සිටීමේදී ඉකිලි ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන කැසීම් සහ සමේ ඇතිවිය හැකි බිබිලි ආදිය මෙමගින් ඇති වන්නේ නැහැ. ඒ නිසා එවැනි අවස්ථාවල ඇතිවන වේදනාව Menstrual cup පැලඳීමෙන් ඇති වෙන්නේ නැහැ.

Period panty

වර්තමානයේ වෙළෙඳපොළේ මිල දී ගන්න තිබෙන තවත් එක් විශේෂිත ඇඳුම් වර්ගයක් තිබෙනවා. මෙය Period panty නමින් හඳුන්වන්නක්. මින් සිදු වෙන්නේ සිරුරට දැනෙන අපහසුතාව මඟ හරින එකයි. ආර්තව දිනවලට අඳින්න ම නිෂ්පාදනය කරලා තිබෙන මේ ඇඳුම උදරය තද වන ආකාරයටයි නිර්මාණය කරලා තියෙන්නේ. උදරය තදවීම නිසා උදරයේ වේදනාව සියයට 80කින් විතර අඩු කර ගන්න පුළුවන් කියලා එහි නිර්මාණ ශිල්පීන් කියනවා. මේ ඇඳුමේ තිබෙන අනිත් විශේෂත්වය තමයි එය රුධිරය හොඳින් උරාගත හැකි ආකාරයෙන් නිපදවා තිබීම. මෙවැනි ඇඳුමක් අඳිනවා නම් සනීපාරක්ෂක තුවා පැලඳිය යුතු නැහැ. ඒ වගේම මේ ඇඳුම රුධිරය පිටතට කාන්දුවීමෙන් ද තොරයි.

ආහාර පාන

ආර්තව දවස්වලට කන බොන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. ආහාර පාන නිසා ආර්තව වේදනාවෙන් සියයට 60ක් විතර ම පාලනය කර ගන්න පුළුවන්. පොටෑසියම් බහුල ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීම වැදගත්. නමුත් ලුණු වැඩිපුර පාවිච්චි කිරීම ඒ තරම් හොඳ නැහැ. ඒ කියන්නේ ලුණු වැඩිපුර යෙදූ ක්ෂණික ආහාර ආර්තව දිනවලට ආහාරයට ගන්න ම එපා. සලාද කොළ, පිපිඥ්ඥා, ඒ වගේම කැෆේන් සහිත බීම වර්ග, විශේෂයෙන් ම කෝපි බීමත් වේදනාව වැඩි වෙන්න හේතු වෙනවා. ඊට අමතරව කබලේ බදින ලද සූදුරු තම්බා පානය කිරීමෙන් මේ වේදනාව අඩු කරගන්න පුළුවන්.

ව්‍යායාම

දිනපතා ව්‍යායාම කරන අය ආර්තව වේදනාවත් එක්ක ව්‍යායාම කිරීම නතර කරනවා. නමුත් ආර්තව දිනවලට ව්‍යායාම කිරීම, විශේෂයෙන් ම යෝග ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. එමගින් මනසට දැනෙන සහනය සිරුරට බොහෝ සෙයින් බලපානවා. ඒ විතරක් නෙවෙයි ව්‍යායාම කිරීම නිසා සිරුර උණුසුම්වීම ආර්තව වේදනාව අවම කරන්න හේතු වෙනවා. ව්‍යායාම කිරීම නිසා රුධිර වහනය සක්‍රියවීමෙන් ආර්ථවය සිදු වන දින ගණන අවමවීමට ඉඩ තිබෙන බව තහවුරු කිරීමට මේ වනවිට වෛද්‍ය පර්යේෂකයන් විසින් පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

ඇඳුම්

ආර්තව දවස්වලට බොහොමයක් තරුණියන් සිරුරට තද වන ආකාරයේ ඇඳුම් අඳින්න පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් ම යටි කය සඳහා වන ඇඳුම්. නමුත් සිරුට තදින් හිර වන ඇඳුම් ඇඳීම මේ වගේ දවස්වලට ඒ තරම් හොඳ නැහැ. උදරය ප්‍රදේශය යම් මට්ටමකට තද වන ආකාරයට ඇඳුම් ඇඳීමෙන් වේදනාව සමනය වුණත් මුළු දවස පුරා ම හිරට ඇඳ සිටීමෙන් වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්තව වේදනාවත් එක්කම හිරින් වැඩි ඇඳුම් නිසා ඇතිවන වේදනාවත් එකතු වුණා ම එය දරා ගන්න අපහසුයි. ඒ නිසා හිර ඇඳුම් අඳින්නේ නැතිව සැහැල්ලු ඇඳුම් විතරක් ඇඳීම තමයි සුදුසු බවට නිර්දේශ කර තිබෙන්නේ.

සටහන – දුලංජලී මුතුවාඩිගේ