Health Guide

ගර්භණී සමයේ ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු

කිරිකැටියකු කුසක පිළිසිඳගත් දින පටන් ම මවක් සෑම මොහොතක ම අත්විඳින්නේ නව අත්දැකීම් සමුදායකි. බොහෝ ගර්භණී මව්වරුන්ට ජීවිතයේ මෙතෙක් අත්නොවින්ද අත්දැකීම් සමග ඇතිවන්නේ සතුට සමග මුසුවූ බියක් චකිතයක් ය. එනිසාවෙන් ම ගර්භණී සමයේ මුල් අවදියෙහි අත්දකින්නටසිදු වන සංකූලතා පිළිබඳව අප ඔබව දැනුවත් කරන්නට මෙවර බලාපොරොත්තු වන්නෙමු.
ගර්භණී සමයේ මුල් මාස තුන එනම් පළමු කාර්තුවේ දී බොහෝ මව්වරුන්ට මුහුණපෑමට සිදුවන තත්ත්වයන් වන්නේ වමනය සහ ඔක්කාරය, යෝනී ප්‍රදේශයෙන් හදිසි රුධිරය වහනයවීම, යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම, බඬේ කැක්කුම ඇතිවීම, බෝවන රෝගවලට ගොදුරුවීම. (උණ, සෙංගමාලය, පැපොල) වැනි තත්ත්වයන් ය. මෙම කාරණා පිළිබඳ අපි සවිස්තරාත්මකව දැනුවත් වෙමු.

ගර්භණී සමයේ ඇති වන වමනය සහ ඔක්කාරය

වමනය සහ ඔක්කාරය බොහෝ ගර්භණී මව්වරුන්ට ගර්භණී සමයේ අත්විඳින්නට සිදුවන සාමාන්‍ය තත්ත්වයකි. උදෑසන අවදි වූ පසු මෙම තත්ත්වය ඇති වන නිසා ම උදා ආබාධය ලෙස හැඳින්වුවත් ඇතැම් විට සමහර මව්වරුන්ට දවසේ වෙනත් ඕනෑ ම වේලාවක වුව ද මෙම තත්ත්වය ඇති විය හැකිය. වමනය සහ ඔක්කාරය ඇතිවීමට නිශ්චිතවම හේතුවක් දැක්විය නොහැකිය. වැදෑමහ මගින් නිපදවන ්‍යමප්බ ක්‍යදරසදබසජ ඨදබ්ාදඑරදචසබ :්‍යක්‍ඨ* නම් හෝමෝනය ඒ සඳහා හේතුවක් විය හැකි බවට අනුමාන කළ හැකිය. ඔබේ කුසෙහි වැඩෙන්නේ නිවුන් දරුවන් නම් ඇතැම් විට සාමාන්‍ය ගර්භණී මවකට වඩා වැඩි වමනය සහ ඔක්කාරය ඇති විය හැකිය.

ගැබ් ගැනීමෙන් පසු සති 6-8 දී පමණ වමනය සහ ඔක්කාරය ඇති විය හැකිය. මෙම තත්ත්වය ක්‍රමයෙන් සති 16-18ක් පමණ වන විට පහව යයි. වමනයවීම එක් අතකින් ඔබේ නිරෝගී බව තහවුරු කරන සාධකයක් ය. එසේ පවසන්නේ මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදුවීමට ඇති අවදානම තරමක් අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇති නිසාවෙන් ය.

වමනය සහ ඔක්කාරය ඉතාමත් අමිහිරි සහ ඇතැම් විට සු`ඵ වේදනාවකට ඔබව පත් කරයි. මේ අවදියේ ඔබට නිසියාකාරව ආහාරපාන ලබාගැනීම අතිශයෙන් දුෂ්කර ය. කායික වශයෙන් කෙසේ වුවත් ඔබේ සිත ද වමනය හා ඔක්කාරය නිසා විඩාවට පත් වේ. එයට හේතුව මේ කාරණා නිසා ඔබේ කුසෙහි විකසනය වන කිරි කැටියාට බලපෑමක් වෙතැයි ඔබ නිරන්තරයෙන් බියට පත් වන නිසා ය. සරලව ම කිවහොත් වමනය කිරීමේ දී ඔබ දරන ආයාසය හෝ ඇදීම නිසාත්, මෙම කාලයේ දී නිසියාකාරව ආහාර නොගැනීම නිසාත් දරුවාගේ වර්ධනයට කිසිඳු බාධාවක් නොවන බව ය. ඔබේ ශරීරයේ තැන්පත්වී ඇති පෝෂ්‍ය පදාර්ථ මගින් කිරි කැටියාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාගැනීමේ හැකියාවක් මෙම කාලය තුළ ඇත. කෙසේ වුවත් දරු පැටියාට අවදානමක් ඇතිවන්නේ අධික වමනයවීම නිසා මවගේ ශරීරයේ ජල මටට්ම පහත ගියහොත් ය. මව විජලනය වුවහොත් කිරිකැටියා ද විජලනයට පත් විය හැකිය. එනිසා ඔබ බීමට ප්‍රිය කරන දියර වර්ග හැකිතාක් පානය කරන්න.

වමනය සහ ඔක්කාරය සඳහා විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍යද?

සාමාන්‍ය වමනය සහ ඔක්කාරය සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. එහෙත් එදිනෙදා කටයුතු පවා කරගන්නට නොහැකි තරමට ඔබ විඩාවටපත් කරමින් දිගින් දිගටම වමනය පවතී නම් සහ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත.
■ සාමාන්‍ය ලෙස ආහාර ගැනීම අපහසුවී නොනවත්වා අධික වමනය සමග ලේ පිටවීම සහ උණ ඇතිවීම.
■ නැවත නැවත නතර නොවී වමනය ඇතිවීම, මුත්‍රාවල වර්ණය තද පැහැවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩුවීම.
■ උදරයේ අධික වේදනාවක් ඇතිවීම.
■ ක්ලාන්ත ගතියක් ඇතිවීම.
■ අධික ලෙස නොනවත්වා ම වමනය හා ඔක්කාරය ඇති අවස්ථාවක මෙම තත්ත්වය පාලනය නොකළ හොත් මව විජලනය, අයනික අසමතුලිතතාව සහ බර අඩුවීම.
■ ගර්භණීත්වයෙන් පසු සති 20 දී පමණ ප්‍රථම වතාවට වමනය සහ
ඔක්කාරය ඇතිවීම වෙනත් රෝගයක පූර්ව ලක්ෂණයක් හැකිය.
මෙවැනි අවස්ථාවල දී දරු ගැබට යම් බලපෑමක් සිදු විය හැකි නිසා ඉක්මනින් ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුය. ඇතැම් විට මෙම තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමට පවා සිදු විය හැකිය.

දරු ගැබට කිසිඳු හානියක් නොවන පරිදි මෙම රෝග ලක්ෂණවලින් සහනය ලබන්න පුළුවන්ද?

වමනය සහ ඔක්කාරය සඳහා ඖෂධ ප්‍රතිකාර ඇත. නමුත් එවැනි ඖෂධ භාවිත කළ යුත්තේ වෛද්‍ය නිර්දේශ මත පමණක් බව හොඳින් මතක තබාගන්න. ප්‍රතිකාරවලට අමතරව කළ හැකි දෑ කරන්නත් ඔබට හැකිය.
■ මඳක් ලුණු රසැති ආහාර සහ ඉඟුරු උදා ආබාධය සමනය කරයි.
■ මිරිස්, තුනපහ වැඩි, සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න. මේදය සහිත ආහාර දිරවීමට වැඩි කාලයක් ගත වන හෙයින් මේදය අඩු ආහාර ලබාගන්න.
■ කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් බහුල ආහාර දිරවීමට පහසු බැවින් එවැනි ආහාර වැඩියෙන් තෝරාගන්න.
■ නිරාහාරව සිටීම තුළින් වමනය සහ ඔක්කාර තත්ත්වය තවත් උග්‍ර කරවන සාධකයකි. එනිසා සාම්ප්‍රදායික ආහාර වේල් තුන වෙනුවට වරින් වර පෝෂ්‍යදායී කෙටි ආහාර ගන්න.
■ උදෑසන අවදි වූ වහාම ක්‍රැකර් බිස්කට් කිහිපයක් හෝ ටෝස්ට් කරන ලද සැන්ඞ්විච් එකක් වැනි කෙටි ආහාරයක් ගැනීම වඩා සුදුසු ය.
■ ජලය බීම ඔබට අපහසු නම් වරකට ජලය ස්වල්පය බැගින් පානය කරන්න.
■ ඉඟුරු රසැති පානයන්, දොඩම් දෙහි වැනි යුෂ සහ ඔබට පානය කිරීමට රුචි පළතුරු යුෂ වර්ග පානය කරන්න.
■ ජලය හෝ වෙනත් පානයන් අයිස් කැට ලෙස සකසා රසවිඳින්න.
■ ඔබට ඔක්කාරය ඇතිවීමට හේතුවන ආහාර හෝ ගන්ධයන් හෝ සුගන්ධයන් මගහරින්න.

යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම

යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම ගර්භණී සමයේ ඇති වන තවත් සංකූලතාවයක් ය. කුසෙහි වැඩෙන තම කිරි කැටියා නිරෝගීව වැඩෙන තෙක් දින ගණින ඔබට මුල් අවදියේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම මහත් ව්‍යාකූලතාවයක් ඇති කරවන බවට සැකයක් නැත.

මුල් මාස තුන තුළ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවන්නේ ඇයි?

එසේ වීමට හේතු සාධක බොහෝමයක් ඇතත් වැදගත් ම සහ සුලභ ම කාරණා දෙක ලෙස ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම සහ ගබ්සාවීමක් යන කාරණා දෙක දැක්විය හැකිය.

ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා යෝනි මාර්ග යෙන් රුධිර වහනයවීම.

ගර්භාෂයෙන් පිටත දරුවා පිහිටීම නිසා ඇති වන ectopic pregnancy රෝගී තත්ත්වයේ ලක්ෂණයක් ලෙස රුධිරය වහනය විය හැකිය. එනිසා මෙවැනි අවස්ථාවක වෛද්‍යවරයා scan පරීක්ෂණයක් සිදු කිරීමට ඔබව යොමු කරනු ඇත. ඔබගේ සති 20 සිදු කරන ස්කෑන් පරීක්ෂාවෙන් පසු රුධිර වහනයක් ඇති වුවහොත් එය දරුවා නියමිත දිනට පෙර බිහිවීමට යන තත්ත්වයක් හෝ වැදෑමහ ගැලවීයාම නිසා ඇති වන තත්වයක් විය හැකිය. වැදෑමහ පහළින් පිහිටා තිබීම placenta previa යනුවෙන් හඳුන්වන අතර එවැනි තත්ත්වයක් නිසාත් වරින් වර රුධිර වහනයක් ඇති විය හැකි අතර එම රෝගී තත්ත්වය ස්කෑන් පරීක්ෂාවක් මගින් කලින් හඳුනාගත හැකියි.

ගබ්සාවීමක් නිසා යෝනි මාර්ගයෙන් රුධිර වහනයවීම

රුධිර වහනයවීම ගබ්සාවක පූර්ව ලක්ෂණයක් විය හැකිය. සාමාන්‍යයෙන් පළමු සති දොළහ තුළ ගබ්සාවක් සිදු විය හැකිය. ගබ්සාවීමක දී යෝනි මාර්ගයෙන් ලේ ගැලීම, පටක පහවීම, දැඩි ලෙස යටි බඩ පෙදෙසින් මස් පිඬු පෙරළීම වැනි ලක්ෂණ ඇති විය හැකිය. ඇතැම් ගර්භණී මව්වරුන්ට මෙම තත්ත්වය ස්වභාවිකව ම පහව ගොස් කුස තුළ වැඩෙන කළලය නැවත සුපුරුදු පරිදි වර්ධනය වේ. කෙසේ වුවත් මෙවැනි තත්ත්වයක දී වහාම වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වැදගත් ය.
ගර්භණී සමයේ මුල් මාස තුන තුළ ඇතිවිය හැකි යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීම, බඬේ කැක්කුම ඇතිවීම, බෝවන රෝගවලට ගොදුරුවීම. (උණ, සෙංගමාලය, පැපොල) වැනි සංකූලතා පිළිබඳ මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නලින්ද රොද්‍රිගෝ

සටහන – දිශාන්ති වෙදගේ