Health Guide

ගැබිණි මව්වරුන් ට කෑමට සුදුසු නුසුදුසු දේ

ගැබිණි මව්වරුන් බොහෝ විට ආහාර පාන වර්ග ගන්නේ තෝරා බේරා ගෙනය. සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ ඒවා කෙරෙහී රුචියක් නැතිකම නිසාය. තවත සමහර ආහාර වර්ග ගැනීමට වැඩිහිටියෝ ඉඩ නොදෙති. ඒ එමගින් කුසේ සිටින දරුවාට හානි වේ යැයි ඔවුන් විශ්වාස කරන නිසාය. අපි එවැනි විවාදාත්මක ආහාර වර්ග කිහිපයක ඇති හිතකර අහිතකරභාවය පිළිබඳව විමසා බලමු.

ගස්ලබු එතරම් සුදුසු නෑ

ගස්ලබු හෙවත් පැපොල්වල පැපේන් නමැති එන්සයිමයක් අඩංගුය. මේවා බහුලව ගැබිණි මවකගේ ශරීරගත වූ විට ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වීමේ හැකියාවක් පවතී. මින් කුසේ සිටින කළලයට බලපෑමක් ඇතිවීමට පුළුවන. නමුත් මේ පැපේන් අඩංගු වන්නේ අමු සහ බාගෙට ඉදුණු ගස්ලබු වලය. එසේ වුවද හොඳින් ඉදුණ ගස්ලබු වුවත් වැඩිපුර ගැනීම එතරම් සුදුසු නැත.

මුල් මාස තුනේදී අන්නාසි ගැනීමෙන් හානි සිදුවිය හැකියි

අන්නාසි වල අඩංග ප්‍රොස්ටග්ලැනඩීන් සංයෝගය නිසා ගැබිණි මවගේ ගර්භාෂයේ සංකෝචන ඇති වීමේ අවකාශය ඇත. මේවාද සුලබව පවතින්නේ අමු සහ බාගෙට ඉදුණු අන්නාසිවල නිසා ගැබිණි සමයේ දී විශේෂයෙන් මුල් තුන් මාසය තුළ අන්නාසි අමුවෙන් සේම පිස ව්‍යංජනයක් ලෙස ගැනීමෙන් පවා වැළකීම සුදුසුය. මේවා සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ සිදු වෙමින් පවතී.

බල මාළු කෑමෙන් ආසාත්මිකතා පිට දැමිය හැකියි

බල මාළු ඇතුලූ කළු පැහැති මාළුවල හිස්ටමින් සංයෝගය අධිකව අඩංගුය. මේවා නිසා ගැබිණි මව තුළ අසාත්මික රෝග තත්ත්ව ඇති විය හැකිය. සිරුර කැසීම, ඇඟ දැවිල්ල, පළු දැමීම, සිරුරේ උෂ්ණ ගතිය, හිස කැක්කුම වැනි අපහසුතා මින් ප්‍රධාන වෙයි. එබැවින් ගැබිණි මව්වරුනට සුදුසු සුදු පැහැති මාළුය.

ඉස්සන් – කකුළුවන් අනුභවයෙන් ඇතිවිය හැකි තත්ත්ව

මේවායෙහි අසාමාන්‍ය ප්‍රෝටීන වර්ග පවතියි. ඒ ප්‍රෝටීන නිසා අසාත්මිකතා ඇති වීමට ඉඩකඩක් ඇත. ඒ අනුව බඩ බුරුල් වී යාම හෙවත් පාචන තත්ත්වය, හුස්ම ගැනීම අපහසු වීම වැනි තත්ත්වයන් ද ඇති වීමට පුළුවන. ගැබිණි මවකට මෙවැන තත්ත්වයන් ඇති වීම හිතකර නොවේ. එනිසා ගැබිණි සමය අවසන් වන තුරු සේම බිළිඳාට මව්කිරි දෙන සමයේත් මෙබඳු ආහාර වලින් වැළකී සිටින තරමට යෝග්‍යය.

මෙවැනි ආහාර ගැබිණි මවක් ගත් පසු එහි ඇති අසාමාන්‍ය ප්‍රෝටීන වර්ග කුසේ හිඳින දරුවාගේ සිරුරට ඇතුළු වීම හේතුවෙන් දරුවා බිහි වූ පසු පසුකාලීනව හේතුවක් නැතිවම දරුවාට අසාත්මිකතා හට ගත හැකි බව ද අනාවරණය වී ඇත. එනිසා මෙබඳු ආගන්තුක ප්‍රෝටීන වර්ග සහිත ආහාර ගැබිණි මවකට සුදුසු නොවේ.

දොඩම් තැඹිලි වැනි පාන වර්ග

සීතල ආහාර ලෙස අපේ පැරැන්නන් මෙන්ම ආයුර්වේද හා දේශීය වෙදකමේ ද හඳුන්වන මෙබඳු ආහාර නිසා ඇතැම් ගැබිණි මව්වරුන්ට සෙම වැඩි වීමත්, එනිසාම හුස්ම ගැනීමේ අපහසුතා වුව ඇති වීමටත් ඉඩ තිබේ. එබැවින් එවැනි අසාත්මික තත්ත්වයන් හට ගන්නා අය මෙබඳු ආහාරවලින් වැළකී සිටීම සුදුසු වේ.

අර්තාපල් නොවන වෙනත් අල වර්ග ගන්නේ ප්‍රවේශමෙන්

කිරි අල ආදී වූ විවිධ අල වර්ග සමහරුන් තුළ අසාත්මිකතා ඇති කරයි. එවැනි අයට මෙබඳු අල වර්ග ගැබිණි සමයේදී සුදුසු නැත.

සමස්ත ආහාර පණිවිඩය

ගැබිණි සමයේ ඔබ ආහාර ගත යුත්තේ හොඳ අවබෝධයකිනි. අනුභවයෙන් කවර හෝ නපුරක් වන බවට අත්දැකීම් ලැඛෙන්නේ නම් එවන් ආහාර වලින් වැළකිය යුතුය. මළබද්ධයට හේතු වන ආහාර වලින් වැළකිය යුතුය. වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අන්තර්ගත ආහාර වලින් සපුරා වැළකිය යුතුය. තෙල් ආහාර, තෙම්පරාදු කළ බැදපු ආහාර වැඩි වශයෙන් අනුභවය සුදුසු නොවේ. එළවළු පළතුරු බොජුන්පතට එක්රගත යුතුය. දවස පුරා නිසි පෝෂණයක් ලබා ගැනීමට හැම විටම ඇය උත්සුක විය යුතුය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ
වෛද්‍ය ආර් එන් ජී රාජපක්ෂ පෙයාර්ස් බේබි වෙබ් අඩවියට ලියු ලිපියකි