Health

අන්ධ ප්‍රජාව බල ගැන්වූ බ්‍රේල්

දෘශ්‍යාබාධිත සහ අන්ධ පුද්ගලයන්ගේ අධ්‍යාපන සහ සන්නිවේදන කටයුතු ඔප්නැංවීම අරභයා ආන්දෝලනාත්මක මෙහෙවරක් ඉටු කරන අපූරු නිර්මාණයක් වන බ්‍රේල් ක්‍රමය ගැන කෙටියෙන් හඳුන්වා දීමේ අදහසිනුයි, මේ ලිපිය ලියන්නේ. එම ප්‍රජාවගේ සන්නිවේදනය මෙන් ම මානුෂීය අයිතිවාසිකම් සපථ කර ගැනීමට උත්තුංග දායකත්වයක් සැපයූ බ්‍රේල් ක්‍රමය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ළද ‘ලෝක බ්‍රේල් දිනය’ ජනවාරි හතර වැනි දාට යෙදී තිබීම ගැන ද මෙහි දී සිහිපත් කරනු වටියි.

අපේ රටේ ප්‍රධාන ධාරාවේ වෛද්‍ය සේවාවන්ට සම්බන්ධ ලිපි ලේඛන ඇසුරු කරන සහ තම රෝගාබාධ සුව කර ගන්නට දොස්තරවරුන් සහ දේශීය වෛද්‍යවරුන් හමුවට එන අය අරමුණු කර ගනිමින් දෘශ්‍යාබාධිත සහ අන්ධ ප්‍රජාව ගැන ලිවීම තරමක් අසීරු කරුණක් වන්නේය. ඊට හේතු කිහිපයකි. අන්ධභාවය යනු සිරුරේ යම් අවයවයක හටගත් සුව කළ නොහැකි රෝගාබාධයක් වැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් හැටියටත්, ඒ නිසා ම දෑසේ පෙනීම අහිමි අන්ධ මිනිසුන් සහ ගැහැනුන් සමාජයේ අනිකුත් ‘සාමාන්‍ය’ යැයි පිළිගැනෙන ජනතාවට වඩා දුර්වල හෙවත් ‘පහළ මට්ටමේ සිටිය යුතු’ පිරිසක් ලෙස සලකන බොහෝදෙනෙකු තවමත් අප අතර සිටීම ඊට එක් හේතුවකි. පෙර ආත්මයක කරන ලද පාප කර්මයක් පලදීම හේතුවෙන් හෝ ලෝක පාලන දෙවියන් කෝපවීමේ ප්‍රතිඵලයක් ලෙස කෙනෙකු ආබාධිත වන බව හඟවන අභූත මතිමතාන්තරවලට එල්බගෙන සිටින සමාජ වටාපිටාවක අප තවමත් කල් ගෙවීම අනෙක් කරුණයි. “ඔය මනුස්සයට ඇස් පේන්නැති හින්දා පොතක් පතක් කියවාගන්ඩ බෑ” වැනි කියුම් ලෙස අපට හුරුවී ඇති අන්ධභාවය පිළිබඳ කියවීම ‘වෛද්‍යමය ආකෘතිය’ ලෙස හැඳින්වෙන අතර, ආබාධිත බව පිළිබඳ මෙම තේරුම් කිරීම දියුණු සමාජවල නම් දැන් යල් පැන ගිය එකක් වන බව කිව යුතුය.

කෙනෙකුගේ මොන යම් හෝ කල් පවතින ශාරීරික ආබාධයක් හේතුවෙන් ඔහුට හෝ ඇයට සමාජයේ වැඩදායී පුරවැසියෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතිවාසිකම් අහිමි කිරීම අමානුෂික ක්‍රියාවක් වන්නේ ය. එවැන්නෙක් ඒ ආකාරයෙන් අසරණභාවයට පත්වන්නේ නම්, ඊට වගකිව යුත්තේ සමාජය ම මිස එම පුද්ගලයා නොවේ. රාජකාරියේ යෙදී සිටිය දී අනතුරක් සිදුවී කෙනෙකුගේ පාදයක් අහිමි වන අවස්ථාවක් ගැන මොහොතකට සිත් යොමු කරන්න. ඉවත් කළ පාදයේ තුවාලය සුවවීමෙන් පසුව කෘත්‍රිම පාදයක් ලබාදීමෙන් ඔහු හෝ ඇය නැවත ඵලදායී ලෙස සේවයට යොදාගත හැකි වන්නේ ය. කෘත්‍රිම පාදයක් ලබා නොදුනහොත් ඒ පුද්ගලයාගේ වෘත්තිය අහිමිව සමහර විට දුගී යාචකයෙකු බවට පත් වන්නට ද ඉඩ ඇත. අන්ධභාවයත් එසේ ම ය. ඒ ආබාධිත බව තේරුම් කරන ‘සමාජමය ආකෘතියේ’ හැඩයයි. මෙම තේරුම් කිරීමට අනුව අබාධිත හෝ අන්ධ පුද්ගලයකුට එදිනෙදා කටයුතු කර ගැනීමට අපහසු වන්නේ නම්, ඒ බාහිරින් ඇතිවන බලපෑම් හේතුවෙනි.

මෑත දී මා දුටු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලක කොරෝනා සෞඛ්‍යාරක්ෂණ ක්‍රමයක් ලෙස දෑත් සෝදාගැනීම සඳහා වතුර පයිප්පය සවි කර තිබෙන ආකාරය මට සිහිපත් වේ. එය ඉතාමත් අන්තරාදායක සැකසුමකි. (පහත ඡායා රූපය බලන්න.) එම වතුර පයිප්පය කරා පියනැඟිය යුත්තේ පොළොවේ සිට අඟල් හයක් පමණ උසින් තිරස් අතට දිවෙන වාහන ඉදිරියට ඒම වැළැක්වීම සඳහා සවිකර ඇති ලොකු යකඩ බටයක් පසු කර ගෙන ය.

එතැනට යන වයසක අම්මා කෙනෙකු හෝ කුඩා දරුවෙකු පය පැටලී වැටෙන්නට ඇති ඉඩකඩ එමට ය. මෙම ඇටවුම කොතරම් දුරට සමාජ හතකාමී දැයි සිතා බලන්න. සමාජය සුදුසු ක්‍රමවේද අනුගමනය කරමින් යහපත් ප්‍රතිචාර දක්වන්නේ නම්, අන්ධ ගැහැනුන් සහ පිරිමින් ද රටට ලෝකයට බරක් නොමැති වැඩදායක පුරවැසියන් බවට පත් කළ හැකි වන්නේ ය. ජපානය, යුරෝපය, ඕස්ටේ්‍රලියාව වැනි රටවල් අනුගමනය කරන්නේ මෙවැනි සමාජ හිතකාමී පිළිවෙත් ය.

ආබාධිත සහ අන්ධ පුද්ගලයන් සඳහා මනා කොට සැලසුම් කළ උපකාරක මෙවලම් සහ සේවාවන් සපයා දීම පොදු සමාජයේ වගකීමක් වන්නේ ය. අප දැක පුරුදු ‘සුදු සැරයටිය’ සහ දියුණු රටවල ප්‍රචලිත ‘උපකාරක සුනඛ සේවාව’ අන්ධ ජනතාවගේ ගමන් බිමන් පහසුව සරි කරනු වස් යෙදෙන මෙවැනි සරල මෙවලම් දෙකකි. මේවා ආධාර කොට ගෙන පූර්ණ අන්ධ පුද්ගලයකුට වුව ද තවත් පිටස්තරයෙකුගේ සහායක් නොමැතිව තම ගමනාගමන කටයුතු පහසුවෙන් කර ගත හැකි වේ. දෑස් පෙනුණත් නැතත්, ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කර හඳුනාගත හැකි කඩදාසියෙන් ඉහළට මතු වුණු තිත් රටා පද්ධතියකින් සැදුම් ලත් බ්‍රේල් ලේඛන ක්‍රමය, අන්ධ පුද්ගලයන් සඳහා නිපැයුණු එවැනි අගනා උපකාරක මෙවලම් ක්‍රමයකි. ප්‍රංශ ජාතික අන්ධ අධ්‍යාපනඥයකු සහ විශිෂ්ට ගණයේ නව නිර්මාණ ශිල්පියෙකු වූ ලුයී බ්‍රේල් මහතා (Louis Braille(1809-1952)) විසින් 19 වන සියවසේ දී ලොවට හඳුන්වා දුන්, අංක සහ අක්ෂර සංකේත හඳුනාගැනීම සඳහා ඉදිරිපත් කළ තිත් හයකින් යුත් රටා ක්‍රමයකට අනුව බ්‍රේල් සන්නිවේදන ක්‍රමය සකස්වී තිබේ. මෙම තිත් සටහන් කඩදාසියේ තරමක් ඉහළට මතුවී තිබීම විශේෂත්වයකි. බ්‍රේල් මූලික රටාව පහත දැක්වෙන ආකාරයේ තිත් හයකින් යුක්ත වේ.

එම තිත් කුමන සංඛ්‍යාවක් කුමන රටාවකට පෙළගැසී ඇත් ද යන්න අනුව වෙනත් වෙනත් අක්ෂර සහ අංක සංකේත තීරණය වෙයි. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ හෝඩිවල බ්‍රේල් සංකේත කිහිපයක් නිදසුන් ලෙස පහත දක්වා ඇත.

මෙසේ සරලව දැක්වූ බ්‍රේල් ක්‍රමය වචන, කෙටි යෙදුම් ආදී භාෂාවක ඇති සියලු ගුණාංගවලින් පරිපූර්ණ වනවා පමණක් නොව, සංගීත ස්වර ලිපි, ගණිතමය සහ විද්‍යාත්මක සංකේත ආදිය ලිවීමටත් හැකි වන සේ වැඩිදුරටත් සංවර්ධනයවී ඇත.

ශ්‍රී ලංකාවට බ්‍රේල් ක්‍රමය හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ 1912 දී රත්මලානේ විශේෂ අඳ ගොළු බිහිරි පාසල ආරම්භ කිරීමට මුල්වූ මේරි චැප්මන් නම් මිශනරි කාන්තාවට ය. මුල දී ඉංග්‍රීසි මාධ්‍ය බ්‍රේල් ක්‍රමය භාවිතවූ අතර පසුව 1947 දී එම විදුහලට නායකත්වය දුන් කිංස්ලි දසනායක මහතා සිංහල බ්‍රේල් ක්‍රමය ප්‍රචලිත කිරීමෙහිලා මහත් දායකත්වයක් දැරීය.

බ්‍රේල් ක්‍රමය වැනි බාහිර උපකාරක ක්‍රම භාවිතයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රේෂ්ඨත්වයට පත් අන්ධ ගැහැනුන් සහ මිනිසුන් සංඛ්‍යාව අතිමහත් ය. වසූරිය රෝගය හේතුවෙන් ළදරු වියේ දී ම දෑස් අන්ධ වුව ද 1712 දී කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ලූකස් අනුස්මරණ ගණිත මහාචාර්ය පදවියට පත් වූ ඉංග්‍රීසි ජාතික නිකලස් සෝන්ඩර්සන් මහතා ලොවට ම ගෞරවයකි. එම ගෞරවනීය මහාචාර්ය තනතුර ඊට පෙර වතාවක ශ්‍රීමත් අයිසැක් නිව්ටන් මහතා විසින් දැරූ බවත්, පසු කලෙක දී එම තනතුර හෙබවූයේ න්‍යායාත්මක භෞතික විද්‍යාව සහ විශ්ව තොරතුරු පිළිබඳ මෑත ඉතිහාසයේ විශිෂ්ටතම කීර්තිමත් විද්‍යාඥයා වන ස්ටීවන් හොකින්ස් බවත් මෙහි සටහන් තබන්නේ එම තනතුරේ ගෞරවනීයත්වය හුවා දැක්වීම සඳහා ය.

උපතින් පූර්ණ අන්ධවූ එවැනි ම ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකික විද්වතෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විමල් වීරක්කොඩි මහතා ගැන මෙහිදී සටහනක් නොතැබුවහොත් එය මහත් අඩුපාඩුවක් වන්නේ ය. එතුමා අප රටට පමණක් නොව, මුළු ආසියාකරයට ම මහත් ආලොකයක් ගෙන දුන් විද්වතෙකි. 1971 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා (Classical Languages) පිළිබඳ ප්‍රථම පංතියේ උපාධිය ලබා පසුව එංගලන්තයේ හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ද දිනා සිටි වීරක්කොඩි මහතා උසස් ගණයේ ශාස්ත්‍රීය පොත් පත් රාශියක් ලියා පළ කළ වචනයේ පරිසමාප්තයෙන් ම ප්‍රාමාණික විද්වතෙකි. ලතින් භාෂා විශාරදයකු වූ වීරක්කොඩි මහතා මයිකල් මෙලර්ගේ “ලුවී බ්‍රේල්: මහා ප්‍රාඥයා” (Louise Braille: A Touch of Genius’ by Michael Mellor) නම් ග්‍රන්ථය පරිවර්තනය කිරීම ගැන ද මෙහි සඳහන් කරන්නේ වීරක්කොඩි මහතා සහ බ්‍රේල් ක්‍රමය අතර බැඳියාව පෙන්නුම් කිරිමට ය. මේ විශිෂ්ට මහාචාර්යවරයා ඉන්දියාවේ භාත්කන්ඬේ විශ්ව විද්‍යාලයේ සංගීත විශාරද ප්‍රථම පන්තියේ උපාධිධාරී සංගීතඥයකු ද වන්නේය.

බ්‍රේල් ක්‍රමය වැනි උපකාරක ඇත් නම්, ඉගෙනීමට සහ ශාස්ත්‍රීය අතින් විශිෂ්ටයෙකුවීමට අන්ධභාවය කොහෙත් ම හරස් නොවන බවට තවත් නිදසුන් සෙවිය යුතු ද?
නූතන ලෝකයේ නැතිව ම බැරි මෙවලමක් වන පරිගණකය ද දැන් අන්ධ පුද්ගලයන්ට රිසි සේ භාවිත කළ හැකි වනසේ දියුණු කර ඇත්තේය. සමාජයේ වගකීම වන්නේ එම සේවාවන් අවශ්‍ය පුද්ගලයින් අතර සුලභ කිරීම ය. එවැනි උපකාරක මෙවලම් සහ සේවාවන්හි සංවර්ධනයත් සමඟ අන්ධ ප්‍රජාවගේ අධ්‍යාපන හැකියාවන් සහ ජිවන කුශලතා තව තවත් ඉහළ නැංවෙනවා පමණක් නොව ඔවුන් වැඩදායි පුරවැසියන් ලෙස බලගැන්වෙන බවද සඳහන් කළ යුතු ම ය.
ඒ සමඟ ම අපට මුණගැහෙන ආබාධිත දරුවන්, සොයුරු සොයුරියන් හා වැඩිහිටියන් කෙරෙහි යහපත් දැක්මක් සහිතව පැවතීමටත්, ඔවුන් ද අපේ ම පවුලේ සම සාමාජික සාමාජිකාවන් ලෙස සැලකීමටත් මෙම ලිපිය කියවන ඔබ අදිටන් කරගන්නේ නම් එයයි, ඔබේ සැබෑ මනුස්සකම.

අද අප ජීවත් වන්නේ ගල් යුගයේ නොවේ; බුද්ධිය මුල් කරගත් දැනුම මත පදනම් වන සමාජයක ය. කෙනෙකුගේ දෘශ්‍යාබාධිත සහ අන්ධභාවය රෝගී තත්ත්වයක් ලෙස හෝ වෙනත් අභාග්‍යසම්පන්න කාරණයක් හැටියට සැලකූ යුගය ඉතිහාසයට එක් කළ යුතුය. එමෙන්ම, පොදු සමාජය විසින් අන්ධ ප්‍රජාව කෙරෙහි දක්වන යල්පැනගිය ආකල්පවල උඩු යටිකුරු පරිවර්තනයක් සිදු විය යුතුය. ඊට කාලය එළඹ තිබේ.

(මෙම ලිපියේ භාෂා සංස්කරණ කටයුතු කොළඹ විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්ය රිද්මි හඳපාන්ගොඩ මෙනවිය විසින් සිදුකළ බව ස්තුතිපූර්වකව සඳහන් කරමි.)

මහාචාර්ය තීක්ෂණ සුරවීර
(ලෝක බැංකු ආධාර මත සිදුකෙරෙන දෘශ්‍යාබාධිත සහ අන්ධ ප්‍රජාව පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානි – මාලබේ ‘SLIIT’ ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන පීඨය)