Health Guide

මොකක්ද මේ නිරෝධායනය කියන්නේ ?

පසුගිය කාලය තුළ ලෝකයේ වැඩි අවධානය ලබාගත් නව කොරෝනා වෛරසය හා සම්බන්ධ සිදුවීම් පෙළත් සමග කතාබහට ලක් වූ කාරණයකි “ Quarantine නොහොත් නිරෝධායනය”. වචනයක් ලෙස එය දැන සිටිය ද නිරෝධායනය යන ක්‍රියාවලිය පිළිබඳ අප දන්නේ ඉතා අල්ප වශයෙනි. මේ පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි සමග සිදුකළ කතාබහකි මේ.

නිරෝධායනය කරනවා කියලා කෙරෙන්නේ මොකක්ද

සරලව ම කියනවා නම් යම්කිසි කෙනෙක්ව යම්කිසි සැලකිය යුතු කාලයකට අනිත් අයගෙන් වෙන් කර විශේෂිත ස්ථානයක රඳවා තබාගැනීම තමයි නිරෝධායනය කියලා කියන්නේ. මෙය බොහෝවිට සිදු වෙන්නේ අනිත් රටවල නැති විශේෂිත රෝගයක් හෝ රෝගී තත්ත්වයක් පවතින රටක ඉඳලා වෙනත් රටකට ඇතුළු වෙන පුද්ගලයින් සඳහායි. ඒ වගේ අයව යම් සැලකිය යුතු කාලයකට නිරෝගී අයගෙන් වෙන් කර තබාගැනීම සිදු වෙනවා. එයට අපි නිරෝධායනය කියලා කියනවා.

නිරෝධායනය කියන සංකල්පය ලෝකය හඳුනාගන්නේ කොහොමද?

මේ ගැන ඉතිහාසයේ වාර්තා වෙන පැරණි ම සිදුවීම තමයි 14 වෙනි සියවසේ වැනීසියේ පැතිරීගිය මහාමාරිය රෝගය. එය මානව ඉතිහාසයේ බරපතළ ම කාරණයක් විදිහට සැලකෙනවා. මහාමාරිය රෝගය නිසා අවුරුදු 4ක් වගේ කාලයක් තුළ යුරෝපයේ ජනගහනයෙන් සියයට 30ක්, ආසන්න වශයෙන් මිලියන 75ත් 200ත් අතර මිනිස් ජීවිත සංඛ්‍යාවක් නැති වෙලා තියනවා. ඒක ප්‍රසිද්ධ වුණේ Black Death කියලා. මහාමාරිය පැතිරීම අවම කරගන්න උවමනා නිසා ඒ කාලේ වැනීසියේ සෙනෙට් සභාව පනවා තිබූ නීතියක් තමයි වැනීසියට එන නැව්වල සිටින අයට ගොඩ බහින අවසර තියෙන්නේ මහ මුහුදේ යම් දුර ප්‍රමාණයකින් දවස් 40ක් නැංගුරම් දාලා තියලා, ඒ කාලය තුළ කිසි ම රෝගී තත්ත්වයක් නැති බවට තහවුරු වුණාට පස්සේ විතරයි කියලා. මේ “40” කියන එක ඉතාලි භාෂාවෙන් ූ Quaranta කියලා කියනවා. “දිනය” කියන්නේ ඉතාලි බසින් Giorni කියලා. මේ දෙක එකතු වෙලා Quarantine කියන වචනය හැදුනා කියලා හිතන්න පුළුවන්. මේ සිදුවීමෙදිත් වෙලා තියෙන්නේ මම කලින් කිව්වා වගේ ඒ නැවේ ඉන්න අයව යම්කිසි කාලයකට අනිත් අයගෙන් වෙන්කර තබාගැනීමක්. ඒ කියන්නේ නිරෝධායනය කිරීමක්.

ඒ වගේ ම වැනීසියේ සමහර දූපත්වල Lazaret කියලා හැඳින්වූ වෙන්කරන ලද රෝහල් වැනි විශාල ගොඩනැගිලිවල අනිත් අයගෙන් වෙන්කර තබාගත යුතු පුද්ගලයින්, ඒ කියන්නේ තමන්ගේ රටේ නොපවතින රෝගී තත්ත්වයන් ගෙනැවිත් ඇති කියලා සැක කරන අයව රඳවා තබාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේ ම ලාදුරු (Leprosy) රෝගීන් නිරෝගී අයගෙන් වෙන්කර තබාගන්න යොදාගෙන තියෙන්නේ Lazaret කියන විශාල ගොඩනැගිලි. ක්‍රිස්තු වර්ෂ 1307 වගේ කාලේ සිරියාවේ ඩමස්කස් නගරයේත් ලාදුරු රෝගීන් වෙන්කර තබාගන්නා විශේෂිත ස්ථානයක් තිබූ බවට සාක්ෂි තියෙනවා. ලාදුරු රෝගීන් වෙන් කර තබාගන්න ලංකාවෙත් හැඳළ, මඩකලපුව වගේ නගරවල රෝහල් ඉදි කරලා තියෙනවා.
රටකින් රටකට එන අය විතරක් නෙවෙයි, 1969 අවුරුද්දේ පළමු වරට සඳට ගිය ගගනගාමීන් කණ්ඩායම නිරෝධායනය කිරීමත් විශේෂී සිදුවීමක්. සඳගමනයට සහභාගි වූ ගගනගාමීන්ව, ඔවුන්ගේ ඇඳුම් සහ ඔවුන් සඳ මතින් ගෙනා පස් සාම්පල ආදියත් 1969 ජුලි 24 ඉඳලා නිරෝධායනය කරනු ලැබුවා. ඒකට හේතු වුණේ කිසි ම කෙනෙක් කිසිම දවසක ගිහිල්ලා නැති තැනක ඉඳලා පෘථිවියට ආපු ගගනගාමින් සමග විවිධ රෝග කාරක පෘථිවියට එන්න පුළුවන්වීමයි. කොහොම වුණත් මේ හැමදේක ම මූලික අරමුණ තමයි යම් විශේෂිත
රෝගයක් නිරෝගී ගහනයකට බෝවෙන එක වළක්වාගැනීමේ අරමුණින් සැලකිය යුතු කාලයකට වෙන්කර තබාගැනීම.

මේ විදිහට පුද්ගලයන් අනිත් අයගෙන් වෙන්කර තබාගැනීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම් සිදු වෙන්න පුළුවන් නේද?

මානව අයිතිවාසිකම් කඩවීමට වඩා බරපතළ වෙන්නේ රෝග ව්‍යාප්තවීම. මේ නිසාම සෑම රටක ම වගේ මේ සඳහා වන ආඥා පනත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ 1897 දී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත (Quarantine and Prevention of Disease Act) සම්මත කර ගෙන තියෙන්නේ මේ නිසයි. මේ පනතෙන් රට තුළට එන සියලු ම ආකාරයේ බෝ වෙන රෝග සහිත පුද්ගලයන් වෙන්කර තබාගැනීමේ බලය තිබෙනවා. මේ පනතට අනුව කවුරුන් හෝ නිරෝධායනයට අකමැති වුණොත් දඬුවම් දෙන්න වුණත් හැකියාව තියෙනවා. ඒ අනුව සෑම රටක ම අන්තර්ජාතික ගුවන් තොටුපොළවලත් වරායවලත් නිරෝධායන ඒකක පිහිටුවා තිබෙනවා. අපේ රටෙත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන ගුවන් තොටුපොළ සහ වරාය ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා.

මේ විදිහට වෙන්කර තැබීම රෝගයක් බෝවීම වළක්වාගන්න ප්‍රමාණවත්ද?

වෙන්කර තබාගන්නේ ඔවුන්ගේ සෞඛ්‍යය පරීක්ෂාවට ලක් කරන්න අවශ්‍ය නිසයි. රෝග ලක්ෂණ මතු වෙනවාද, රෝගය ආසාදනය වෙලාද කියන කරුණු තහවුරු කරගන්න අවශ්‍ය කරන කාලය තමයි මේ විදිහට වෙන්කර රඳවා තබාගන්නේ. රෝගියෙක් සමාජයට මුදාහැරීමෙන් සිදුවෙන රෝග ව්‍යාප්තිය මේ ක්‍රමයෙන් අවම කරගන්න පුළුවන්.

නිරෝධායන කාලය තුළ ප්‍රතිකාර කිසිවක් සිදු වෙන්නේ නැද්ද?

නිරෝධායනයට ලක්වෙන පුද්ගලයා වෙනත් රෝගවලින් පීඩා විඳිනවා නම් ප්‍රතිකාර කෙරෙනවා. නිරෝධායනයේ දී සිදු වෙන්නේ නිශ්චිත කාලයකට අනිත් අයගෙන් වෙන්කර තබාගැනීම විතරයි. නමුත් රෝගය ආසාදනය වෙලා ද කියලා පරීක්ෂා කර බැලීම නිරන්තරයෙන් සිදු කරනවා. රෝග ලක්ෂණ මතු වුණොත් හෝ රෝගය ආසාදනය වුණු බව තහවුරු වුණොත් ඒ පුද්ගලයා වෙන් කර ඒ සඳහා වන ප්‍රතිකාර කඩිනමින් කරනවා.

නිරෝධායනය සිදු කරන්නේ මිනිසුන්ට විතරද?

නැහැ. සතුන් සහ ශාක සඳහාත් නිරෝධානය කිරීම සිදු වෙනවා. සතුන් නිසා වගේ ම ශාක නිසාත් විවිධ රටවල පවතින බෝවන රෝග වෙනත් රටවලට ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා සතුන් සහ ශාක නියමිත කාලයන් සඳහා විශේෂිත ස්ථානවල වෙන්කර තබාගෙන පරීක්ෂා කිරීම් සිදු කරනවා.

අජීවී දේවල් නිරෝධායනයට ලක් කරන්න පුළුවන්ද?

ඇත්තට ම එතැනදි සිදුවෙන්නේ නිරෝධායනයකට වඩා විෂබීජහරණයක්. පහුගිය කාලෙ අපට අහන්න ලැබුණා නැව්, ගුවන් යානා ආදිය සම්පූර්ණයෙන් ම විෂබීජහරණය කළ අවස්ථාවන් ගැන. සාමාන්‍යයෙන් වෛරසවලට වැඩෙන්න සුදුසු පාරිසරික තත්වයක් පවතින්නේ ජීවී සෛලයක් තුළ විතරයි. අජීවී ද්‍රව්‍ය තුළ වෛරසයකට වැඩෙන්න අවශ්‍ය කරන පාරිසරික සාධක නැහැ. ඒ නිසා අජීවී ද්‍රව්‍ය විෂබීජනාශක මගින් විෂබීජහරණය කිරීම ප්‍රමාණවත්. ජීවීන් වගේ දවස් ගණන් වෙන් කර තබාගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ.
අජීවී දේවල් වගේ ම භූගෝලීය වශයෙන් තෝරාගත් විශාල ප්‍රදේශ පවා නිරෝධායනය කරන්න පුළුවන්. ඒකට කියන්නේ a Cordon Sanitaire එහෙම නැත්නම් Locked Down කරනවා කියලා. මේ දවස්වල චීනයේ නගර කීපයක් ම Cordon Sanitaire කරලා තියෙනවා. එතැනදි වෙන්නේ මේ පුද්ගලයන් ඒ ප්‍රදේශවලින් පිටවීම සහ ඇතුළුවීම සම්පූර්ණයෙන් ම නතර කර දැමීම.

අජීවී ද්‍රව්‍යවල විෂබීජහරණය නිසියාකාරව සිදුවෙලා තියනවාද කියලා නිෂ්චය කරගන්න විදිහක් තියෙනවාද?

ඒක කරන්නේ කොහොමද, යොදාගන්නේ මොනවගේ දේවල්ද කියන කාරණා ගැන සම්මත වුණු නිර්දේශිත ක්‍රමවේද තියෙනවා. ඒ වගේ ම එයට සුවිශේෂී නිපුණතාවකින් යුතු විශේෂඥ කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා කිසි ම අතපසුවීමක් හෝ වරදක් සිදුවෙන්න කිසි ම ඉඩක් නැහැ.

වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි ( පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය)

සටහන – දුලංජලී මුතුවාඩිගේ