Fitness

සිරුරේ බර අඩු කර ගන්න…එළවළු යුෂ බොන්න

ශරීරය මහත අයට ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද සිරුරේ බර අඩු කර ගන්නේ කියන එක. මේ සඳහා එළවලු, පළතුරු යුෂ භාවිත කරන්න පුළුවන්.
මේ කියන්නට යන්නේ එළවළු යුෂ භාවිතයෙන් ශරීරයේ බර අඩු කර ගන්නා ආකාරය පිළිබඳව.

කැරට්

කැරට් යුෂ වීදුරුවක් උදෑසන හෝ දහවල් ආහාර ගැනීමට ප්‍රථමයෙන් පානය කිරීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අවම කරගැනීමට පුළුවනි. ඒ වගේම ශරීරයේ හැඩය මැනවින් පවත්වා ගැනීමට මෙන්ම තරුණ බව රැක ගැනීම සඳහාත් කැරට් යුෂ ගුණදායක වෙයි. ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයන් කැරට් පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය කරන අතර එමඟින් බර අඩුකර ගැනීමට වඩාත් ගුණදායක වෙයි.

පිපිඤ්ඤා

සෑම ආහාර වේලකටම ප්‍රථමයෙන් පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානය කිරීමට පුරුදුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර හැඩය මනාව පවත්වා ගැනීමට හැකියාව පවතියි. පිපිඤ්ඤා යනු දැඩි සිසිල් ගුණයෙන් වැඩි එළවළුවක් නිසා සෙම් සහිත රෝගීන්ට එතරම් සුදුසු නැත. ඔවුන් මෙම යුෂ පානය කිරීමට ප්‍රථමයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

පිපිඤ්ඤා ගෙඩි එකක යුෂ ප්‍රමාණයට දෙහි යුෂ මේස හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු මිශ්‍රකර සාදාගන්නා පානය ශරීරයේ බර අඩුකර ගැනීමට වඩාත් සුදුසුවෙයි.

බීට්රූට්

බීට්රූට් තන්තු බහුල එළවළුවකි. ශරීරයේ බර අධික පුද්ගලයන්ගේ බර ප්‍රමාණය මනාව පාලනය කිරීමේ හැකියාව බීට්රූට් යුෂවල පවතී. බීට්රූට් ගෙඩියක යුෂ ගෙන එයට දෙහි යුෂ සහ ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මඟින් ශරීරයේ බර ප්‍රමාණය අඩුකරගත හැකියි.

ක්ෂණික බීම පානය කිරීම අතහැර මෙවැනි බීම පානය කළ හැකි නම් ඇතිවිය හැකි රෝග කීපයකින් මිදීමට හැකිවේවි.

දෙහි

ශරීරයේ මේදය දහනය කරන පානයක් වශයෙන් දෙහි යුෂ පානය හැඳින්විය හැකියි. කෘත්‍රිම බීම පානය කිරීම අතහැර දමා ඒ වෙනුවට ස්වාභාවික දෙහි යුෂ පානය කිරීමට හුරුවීමෙන් ශරීරයේ බර ප්‍රමාණය අඩුකර ගැනීමට පුළුවනි.

එමෙන්ම උදෑසන අවදි වූ සැණින් පිරිසුදු ජලය වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ මේදය දහනය වේ. තවද පිරිසුදු ජලය කෝප්ප භාගයකට දෙහි ගෙඩියක යුෂ සහ මී පැණි තේ හැන්දක් මිශ්‍රකර පානය කිරීමෙන් ශරීරයේ අධික බර පාලනය කරගත හැකියි.