Health

තරුණ ගැහැනු ළමයි මේ තරම් ලැජ්ජා ඇයි?

ගැහැනු ළමයි කියන්නෙ ලැජ්ජ බය ඇතිව හැදෙන්න ඕනෙ පිරිසක් කියලා වැඩිහිටි අය කියනවා ඕනෙ තරම් අහලා ඇති. ඒ වගේම සමහර ආච්චි අම්මලා ‘ලැජ්ජ නැද්ද කොල්ලෙක් වගේ ගස් නගින්නෙ?’ කියලා මිණිබිරියන්ගෙන් අහන වෙලාවලුත් තියෙනවා. ලැජ්ජාව කියන්නෙ හැසිරීම් විතරක් නෙවෙයි, සමහර වචන නිසාත් ලැජ්ජාව ඇති වෙන්න පුළුවන්. ගොඩක් පිරිමි ළමයි කුණුහරුප කිව්වත් ගැහැනු ළමයි සාමාන්‍යයෙන් කුණුහරුප කියනවා අඩුයි. ඒ ලැජ්ජාව නිසා මිස කුණුහරුප දන්නෙ නැති නිසා නෙවෙයි. මේ විදිහට ලැජ්ජාව කියන එක එකිනෙකාට වෙනස් විදිහට ඇති වෙන්නෙ කොහොමද කියන එක ගැන අපිට ඒ තරම් අවබෝධයක් නැහැ.

ලැජ්ජාව කියන හැඟීම මොළයේ Frontal lobe නොහොත් ලලාට පිණ්ඩිකාව කියන කොටසේ හටගන්න දෙයක්. ලැජ්ජාව පුංචි කාලෙ ඉඳලා ඇති කර ගන්න ඕනෙ දෙයක්. සාමාන්‍යයෙන් ලැජ්ජාව ඇති වෙන්න සාධක කිහිපයක් ම බලපානවා. පොඩි කාලෙ අපිට ලැජ්ජාව ඒ තරම් දැනෙන්නෙ නැහැ. ඒ නිසා තමයි පොඩි අය ඇඳුම් නැතිව වුණත් ඔහේ දුව පැන පැන ඉන්නෙ. ඒත් ඉතින් ලොකු වුණාට පස්සෙ අපි එහෙම ඉන්නෙ නැහැනෙ. අපිට ඉස්සෙල්ලා ම ලැජ්ජාව දැනෙන්නෙ අම්මාගෙන් වෙන් වුණාම. ඒ කියන්නෙ අම්මා අපිව මොන්ටිසෝරියෙ දාලා යද්දි අපිට බයක් එක්ක ලැජ්ජාවක් ඇති වෙනවා. ළමයි ගොඩක් ඉස්සරහා ටීචර් ප්‍රශ්නයක් ඇහුවොත් ලැජ්ජාවක් ඇති වෙනවා. නමුත් මේක “ඇත්ත ලැජ්ජාව” නෙවෙයි. ඇත්තට ම ඇති වෙන ලැජ්ජාව, එහෙමත් නැත්නම් “ඇත්ත ලැජ්ජාව” ලේසියෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මොන්ටිසෝරියේ දි පළවෙනි දවසෙ ඇතිවුණු ලැජ්ජාව ටික දවසකින් නැති වෙලා යනවා. අම්මා මොන්ටිසෝරියේ දාලා ගියා කියලා අඬන්නේ නැහැ. ටීචර් ප්‍රශ්න අහන්න කලින් කෑගහලා උත්තර දෙනවා. නමුත් “ඇත්ත ලැජ්ජාව” ඇතිවෙන්න පටන්ගන්නේ නව යොවුන් වියට එද්දි. ඒක ගැහැනු පිරිමි දෙගොල්ලන්ට ම ඇති වෙන්න පටන්ගන්නවා.

ලැජ්ජාව ඇති වෙන්න බලපාන ප්‍රධාන ම සාධකය තමයි සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස්වීම්. මේ වෙනස්වීම් ගැහැනු සහ පිරිමි දෙපිරිසට ඇති වෙන්නේ වෙනස් විදිහට. ගැහැනු ළමයින්ගේ පියයුරු වර්ධනයවීගෙන එද්දි ඒවා පිටතට නෙරලා පෙනෙන්නෙ නැති වෙන්න හිරට ඇඳුම් අඳිනවා. ඒ වගේම අත් යට රෝම වැවෙද්දි කවදාවත් අත් නැති ඇඳුම් අඳින්නෙ නැහැ කියලා හිතාගන්නවා. ඒත් ඒක ඒ විදිහට ම වෙන්නෙ නැහැ. මේක සාමාන්‍ය දෙයක් කියලා දැනගත්තාම හිරට අඳින එකයි, අත් යට පෙනෙන විදිහේ ඇඳුම් අඳින එකයි සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා.

ලැජ්ජාව කියන කාරණයේ දි පිරිමි අයට වඩා ගැහැනු අය සංවේදිතාවයෙන් වැඩියි. මේක පරිණාමීය සාධක නිසා ඇති වූ දෙයක් වෙන්න පුළුවන්. පිරිමියා පරිණාමයට පත් වුණේ අනතුරුවලට මුහුණදෙන, දඩයම් කරන, අවදානම්වලට මුහුණ දිය හැකි කෙනෙක් විදිහට. නමුත් ගැහැනු අය වඩාත් මටසිලිටු, දරුවන් බලාගන්නා, නිවසේ ආරක්ෂාව යටතේ පසුවන අය විදිහට පරිණාමය වුණු අය. නමුත් අද තත්ත්වය වෙනස්. අද ගැහැනු පිරිමි දෙපක්ෂය ම සමාජයේ සමාන තත්ත්වයන් භුක්ති විඳින, සමාන වටිනාකම් තියෙන අය. නමුත් පරිණාමයෙන් ලැබුණු වෙනස්කම් ගැහැනු අය තුළ තාමත් තියෙනවා. ඒ නිසා ගැහැනිය වඩාත් සංවේදී වගේම අලුත් අත්දැකීම්වලට මුහුණදීමේ දී අපහසුතා ඇති වන පිරිසක් බවට පත් වෙලා තියෙනවා.

මේ ලැජ්ජාව විවිධ සංස්කෘතින්වලට අනුව වෙනස් වෙනවා. එක සංස්කෘතියක ගැහැනු අය උඩුකය නිරුවත්ව ජීවත් වුණත් තවත් සංස්කෘතියක අය එහෙම ඉන්නෙ නැහැ. සමහර විද්‍යාඥයන් කාන්තාවන් තුළ පවතින් හෝමෝන වෙනස්කම් ගැනත් කතා කරනවා. ඒ කියන්නේ පිරිමි අයට වඩා ගැහැනු අයගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්. මේ නිසාත් මේ දෙගොල්ලන්ට ලැජ්ජාව ඇති වෙන ආකාරයත් වෙනස්. නමුත් මේ කරුණු තාම විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. සමාජ විද්‍යාත්ම හේතු නිසා, ඒ කියන්නේ විශේෂයෙන් ම පෞරුෂත්ව වර්ධනය හා සම්බන්ධ හේතු නිසාත් ලැජ්ජාව ඇති වෙන්න පුළුවන්. ගැහැනු ළමයින්ගෙ වගේම පිරිමි ළමයින්ගෙත් පෞරුෂය වර්ධනය වෙන්නෙ දෙමාපියන්ගෙ බලපෑම් නිසයි. දෙමාපියන් පිරිමි ළමයි සමාජ ශීලී කරවන්නත් ගැහැනු ළමයි එහෙම නොකරන්නත් හුරුවෙලා ඉන්නවා. මේ අනුබලය පිරිමි ළමයින්ගේ ලැජ්ජාව අඩු කරවන්නත් ගැහැනු ළමයින්ගේ ලැජ්ජාව වැඩි කරවන්නත් හේතු වෙලා තියෙනවා.

ගොඩක් වෙලාවට පුංචි දරුවන් තමන්ගෙ වැඩිමල් සහෝදර සහෝදරියන්ගෙ හැසිරීම විමර්ෂණය කරලා ඒ චරිත ලක්ෂණ තමන්ගෙ ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වගේම ටෙලි නාට්‍ය, චිත්‍රපටි වගේ දේවල් බලලා මම මේ වගේ වෙන්න ඕනෙ කියලා හිතන ළමයිනුත් ඉන්නවා. ඒ කියන්නේ මම අර නිළිය වගේ ආදරණීය කෙනෙක් වෙන්න ඕනෙ, මම මේ නිළිය වගේ මට ඕනෙ දේ කරන කෙනෙක් වෙන්න ඕනෙ වගේ සිතුවිලි ඇති කර ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම අලුත් පරිසරවලට හැඩ ගැසීම, අලුත් නුපුරුදු පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබීම වගේ කාරණාවල දී අපි ඕනෙම කෙනෙක් වයස් භේදයකින් තොරව සාමාන්‍ය මට්ටමින් ලැජ්ජාශීලී වෙනවා. ඒක ගැහැනු අයට වගේම පිරිමි අයටත් පොදුයි. ඒ වගේම අපි වියපත් වෙද්දි මේ ලැජ්ජාව ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක වයසට යද්දි සිදුවන මානසික ව්‍යාකූලතාව එක්ක සිදු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කාරණා ගැන සලකලා බැලුවාම ලැජ්ජාව කියන හැඟීම වයසත් එක්ක වර්ධනය වෙලා තරුණ වයසේ දී උපරිම මට්ටමට ගිහින් නැවත වියපත් වෙද්දී අඩුවීගෙන යන හැඟීමක් කියලා හිතන්න පුළුවන්.

සටහන – දුලංජලී මුතුවාඩිගේ