Health Guide

කුමක්ද මේ යොවුන් වියේ චමත්කාරය

යොවුන් විය හඳුන්වන විවිධ නම් භාවිත වේ. එනම් නව යොවුන් විය, භද්‍ර යෞවනය, සහ සොඳුරු යෞවනය වැනි වදන්වලින් ද ගැමි වහරේ දී තරුණයා, ගැටයා, ඉලන්දාරියා, ගැටිස්සි සහ ලම්ස්සි ලෙස ද හඳුන්වනු ලබයි. එනමුදු විවිධාකාරයෙන් හඳුන්වන මේ යොවුන් විය පිළිබඳව යම්කිසි අර්ථයක් පැහැදිලි වේ. එනම් යෞවනයෙකු යනු ළමයෙකුත් නොවන වැඩ්හිටියකුත් නොවන අතරමැදි අවධ්ය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව, අවු. 10-14 කාලය නව යොවුන් විය ද, අවු. 15-19 කාලය යොවුන් විය ද, අවු. 19-24 අතර ගත කරන අය තරුණ පිරිස ලෙස ද හැඳින්විය හැකිය.

මෙම කාල පරාසය තුළ දී කායික මානසික සහ සමාජයීය වෙනස්කම් රැසක් සිදුවේ. මේ වෙනස්වීම් පිළිබඳව කරුණු අප සැම දැනගත යුතුය. මෙය මනෝ සමාජයීය පරිසරය යහපත් කිරීමට හේතු වේ.

තව ද පවුලේ අය සහ දෙමාපියන් සමග තිබූ සම්බන්ධතා වෙනස්වීම් සහ සම වයස් කාණ්ඩ සමග සම්බන්ධතා ඇති කර ගැනීම ද, තම පුද්ගලික අනන්‍යතාව ගොඩනගාගැනීම ද, බුද්ධිය මෙහෙයවීම තුළින් සමාජය සහ ලෝකය දෙස පුළුල්ව බැලීම, තම ආකල්ප ඇති කර ගැනිම සහ තම හැකියාවන් හඳුනාගෙන වර්ධනය කර ගැනීම ද, තමාට හා ප්‍රජාවට වැදගත් වන රැකියා අවස්ථාවන් සහ පරිබාහිර ක්‍රියාවන් සදහා අවශ්‍ය දැනුම වැඩි කර ගැනීම ද, ඉහත සඳහන් වයස් කාණ්ඩවල දී සිදුවේ.

නව යොවුන් වියේ ඇතිවන වෙනස්කම්

කායික ලෙස ශරීරයේ සීඝ්‍ර වර්ධනයක් වගේම ද්විතියික ලිංගික ලක්ෂණ මතුවීම සහ ප්‍රජනක අවයව පරිණතවීමක් සිදුවේ.

ඉක්මනින් තරහා යාම සහ සතුටුවීම, ආවේගශීලීව ප්‍රතිඵල දෙස නොබලා සාධාරණත්වය උදෙසා සටන් කිරීම සහ ස්වාධීනව කටයුතු කිරීමට කැමැත්ත දැක්වීම. යනාදිය මානසික වෙනස්කම් සිදුවේ. ඒ වගේම සාමාජයීය වෙනස්කම් ලෙස පවුල් රාමුවෙන් මිදී සාමාජශීලීවීමට ප්‍රිය කිරීම. විරුද්ධ ලිංගිකකයන් කෙරෙහි ආකර්ෂණයවීම සහ සම වයස් යහන්‍දාවන්ගේ බලපෑම වැඩිවීම ලෙස හැඳින්විය හැකිය.

සෑම දරුවකු ම ජාන සහ පරිසරය යන සාධක දෙකෙහි ම එකතුවක් ලෙස සංවර්ධනය වේ. සෑම දරුවකුට ම තමාට ම සුවිශේෂී වූ ජාන සහ අත්දැකීම් ඇති අතර එමගින් ඔවුන්ගේ හැකියාවන් පෞරුෂත්වය සහ ලබාගන්නා ජයග්‍රහණයන් විවිධාකාර විය හැකිය. ඉදිරියේ දී රටේ අනාගතය භාරගැනීමට සිටින මෙම යෞවනයන් නිරෝගී, ශක්තිමත් සහ බුද්ධිමත් පරිසක් විය යුතුය. ඒ වගේම හොඳ පුරුදු ඇති කර ගැනීම තුළින් අනාගතයේ දී ජීවිතය සතුටින් ගත කළ හැකිය. අනාගතයේ දී මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීම සඳහා කායික, මානසිකව සහ සාමාජයීය සෞඛ්‍ය දියුණු කර ගත යුතුය. ඒ වගේම ජීවිතය පිළිබඳ දැක්ම කුමක්ද? ඒ අනුව ඉදිරියේ දී සපුරාගත යුතු ඉලක්කයන් සඳහා හඳුනාගත් අරමුණක් තුළින් ඉදිරියේ දී අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ගයන් කෙසේද? එමගින් හැකියාව සහ දක්ෂතා හඳුනාගෙන වර්ධනය කර ගත හැකි අතර ම බාධක සහ තර්ජන ද පැහැදිලිව හඳුනාගැනීම ද ඉතා වැදගත් ය.

ජීවිතයේ අලුත් අවස්ථාවන්ට මුහුණදෙන විට බය, චකිතය, පැකිළීම ඇති වන විට තමන් තමන්ට ම කතා කළ යුතුය. “මට බැරි නැහැ”. “මට පුΩළුවන්”, “මම කෙසේ හෝ කළ යුතු කාර්යය කර ගන්නවා”, “මම බිය වන්නේ කුමක් සඳහා ද?” වැනි සිතුවිලි තුළින් තම හිතට ශක්තිය, ධෛර්ය ඇති කර ගත යුතුය.
අපි ලෝකය දෙස විවෘතව බැලීමට පුරුදු වෙමු. ඒ වගේම ජීවිතයේ ඉදිරි ගමනට අවැසි ඕනෑම දෙයක් භාරගෙන කටයුතු කිරීම සඳහා සිත සුදානම් කර ගත යුතුය. මෙහිදී නැහැ, බැහැ යන වචන ව්‍යවහාරයෙන් බැහැර කළ යුතු අතර එමගින් ඔබ හට ඉදිරි ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකිය.

ඒ වගේම තමන් හට අනිසි යෝජනා ඉදිරිපත් වන අවස්ථාවල දී ඒවා එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට හා උපක්‍රමශිලීවීමට ඇති හැකියාව වර්ධනය කර ගත යුතුය.

යොවුන් වියේ දී මුහුණ දීමට සිදුවන අභියෝගයන් නම්

■ සීඝ්‍ර කායික වෙනස්කම්
■ සම වයස් කණ්ඩායම් තුළින් එන බලපැම්
■ හැදෙන වැඩෙන පරිසරයෙන් ඇතිවන බලපැම්
■ දෙමාපියන්ගේ බලපැම
■ ගුරුවරුන්ගේ බලපැම
■ අධ්‍යාපනික අවස්ථා
■ ජනමාධ්‍යයෙන් ඇතිවන බලපැම්
■ නවීන විලාසිතා
■ මුදල් අවශ්‍යතා
■ රැකියා අවශ්‍යතා
■ සමාජ හා සංස්කෘතික අගයන්
■ ජීවන කුසලතා නොමැතිකම
■ හැකියාව දක්‍ෂතා ඉදරිපත් කිරීමට අවස්ථාවක් නොමැතිකම
■ අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා හඳුනාගත් සේවා පද්ධතියක් නොමැතිකම

ජීවිත ගමනේ දී මුහුණදීමට සිදුවන අභියෝග

යොවුන් වියේ සිටින ඔබ හට ජීවිතය ජය ගැනීමේ දී අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ. එනම් තම අධ්‍යාපනය සාර්ථක කර ගැනීම, සුදුසු රැකියාවක් සොයාගැනීම සහ සමාජයේ දී මුහුණ පෑමට සිදුවන නොයෙක් ගැටලුවලට සාර්ථකව මුහුණදීමට සිදුවන ප්‍රධාන අභියෝගයන් වේ. තමන්ගේ අනාගතය රඳා පවතින්නේ තමන් ලබන අධ්‍යාපනය මත බව නොරහසකි. අධ්‍යාපනය සාර්ථකව ජය ගැනීමට නම් ඔබ හට ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට අධිෂ්ඨාන කර ගත යුතුය.
අධ්‍යාපනය හැදෑරීමේ දී තිබෙන ඊළග ප්‍රශ්නය නම් විභාග වේ. එනමුදු විභාග තම ජීවිතයට කරදරයක්, වදයක් ලෙස සිතීම වැරදි ය. අපගේ දියුණුවට බාධකයක් ලෙස සෘණ ආකල්පමය සිතුවිලි සහ විභාගයට ඇති අනියත බිය ඉවත් කර ගත යුතුය. ක්‍රමානුකූල පාඩම් වැඩ හොදින් හදාරා සුදානම්වීම තුළින් විභාගයට මුහුණදීමට අසිරු නොවන අතර අප ඒ දෙස බැලිය යුත්තේ සුබවාදීව ය. විභාගය යනු අප ජීවිතයේ දියුණවට ඇති උපකාරයකි. එනම් ඉණිමගකි. විභාගය අධ්‍යාපනයේ කොටසක් ලෙස සැලකිය යුතුය.

අවදානම් ක්‍රියාවන්ගෙන් වැළකෙමු

යොවුන් වියේ පසුවන ඔබ අලුත් අලුත් දේ අත්හදා බැලීමට කැමැත්තක් දක්වන අතර ඒවායින් සමහරක් යහපත් වන අතර (උදා. නව නිපැයුම් කිරීම, අලුත් කෑම වටිටෝරු සෑදීම වැනි දෑ) සමහර ක්‍රියා නොසිතන ලෙස අහිතකර ප්‍රතිඵල ලබාදෙයි. (උදා. වේගයෙන් මෝටර් සයිකල් පැදීම, මත්ද්‍රව්‍ය අත්හදාබැලීම, නොදන්නා තැන්වල නෑමට, පිහිනීමට යාම).

විරුද්ධ ලිංගිකයන් සමග කිසිවෙකුත් නැති පාළු තැන්වල තනිවීමෙන් වැළකෙන්නට උත්සාහ ගත යුතුය. අනර්තකාරී අවදානම් ක්‍රියාවන්ගෙන් වන්නේ හානියක් ම නිසා ඒවායින් වැළකීමට අදිටන් කර ගත යුතුය. අනුන්ගේ බලපෑම් පෙළඹවීම්වලින් තමන්ට, අනුන්ට හානියක් වන්නේ නම් එවැනි අවස්ථා මගහැරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හුරුව ඇති කර ගත යුතුය.

නව යොවුන් වියේ දී ලිංගිකත්වය පිළිබඳ හැඟීම් ඇතිවීම ස්වභාවික වුව ද එම ආශාවන්ට වහල් වුවහොත් තම අනාගතය සම්පූර්ණයෙන් ම අඳුරු විය හැකිය. එවැනි හැඟීම් ඇති වන විට ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියා මාර්ග ගත යුතුය. එනම් සෞන්දර්යාත්මක දේ නිර්මාණය කිරීම, උසස් මාදිලියේ සෞන්දර්යාත්මක අවස්ථා රසවින්දනය ලබාගැනීම.

යොවුන් වියේ දී ගන්නා ලබනු තීරණයන් ගැන අවධානය යොමු කළ යුතුය. තීරණ ගැනීම පුද්ගල අයිතිවාසිකමක් වුව ද ජීවිතය පිළිබඳ සමහර වැදගත් තීරණ ගැනීමේ දී දෙමාපියන්, ගුරුවරුන් දැනුවත් කර, ඔවුන් සමග ද ඒ පිළිබඳව සාකච්ඡා කර පොදු තීරණ ගැනීම වැදගත් වේ.

චිත්තවේගීය තත්ත්වයන් තුළ හැගීම්වලට බරව ගන්නා තීරණ තමන්ට ම අවාසිදායක විය හැකිය. හදිසි තීරණ ගැනීමට සිදුවන අවස්ථාවල දී වුව ද හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව තීරණ ගත යුතුය. නව යොවුන් අවධියේ දී වැඩිහිටියන්ගේ බලපෑම්වලින් මිදී රිසි ලෙස තිරණ ගැනීමට වැඩ කිරීමට අප වඩාත් කැමැති ය.

එනම් පාඩම් කිරීමට සුදුසු වේනාවන් තිරණය කිරීම, අවස්ථාවට ගැළපෙන ඇඳුම් තෝරාගැනීම සහ ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර තෝරාගැනීම වැනි දේ ය.

නව යොවුන් වියේ දී තිරණ ගැනීමේ දී එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන සිතීමට තරම් ඔවුන්ගේ මොළය වැඤූ නැති අතර ඔවුන් අත්දැකීම්වලින් මුහුකුරා ගොස් නැත. ඒ නිසා ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේ දී දෙමාපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ගේ සහය ද ලබාගෙන වඩාත් සුදුසු තීරණ ගැනීම තුළින් අප හට බොහො සෙයින් වාසි සහගත වේ.

ඒ වගේම තම දෙමාපියන් තමාට ම සිටින එක ම මිතුරා සහ මිතුරිය ලෙස සිතා කටයුතු කළ යුතුය. තමන් හට සිදුවන යහපත් වගේම අයහපත් වැනි දෑ ද දෙමාපියන් හට පැවසීමෙන් තමාට ඇතිවන ආතතිය, බිය තත්ත්වය වගේම සිදුවන අනර්ථකාරී ක්‍රියාවන් ද වැළකීමට හේතු වේ.

සුබවාදී ආකල්ප තුළින් චමත්කාර යොවුන් විය ගතකිරීමට හැඩගැසෙමු.

එච්. ජී. ටී. පී. සිල්වා
මහජන සෞඛ්‍ය හෙදි සොයුරිය
(සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය – රඹුක්කන)