Health Guide

රෝගීවූ පුද්ගලයන්ගේ සුරක්ෂිතතාව ගැන හිතමු

පුද්ගලයකු රෝගාතුරවී රෝහලට ඇතුළුවන්නේ කායිකව සහ මානසිකව දැඤු පීඩනයකට ලක්වූ අයෙකි. එවිට දී රෝගාතුරවී පැමිණෙන බාහිරව හෝ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට එන පුද්ගලයන් හට රෝහල් පරිසරය ආරක්ෂිත ස්ථානයක් විය යුතුය. රෝගියකු රෝහල් ගතවීම හදිසි අවශ්‍යතා ඇතිවීම හෝ සැලසුම් කළ එකක් විය හැකිය.

මෙහිදී පුද්ගලයකු කිහිප ආකාරයකින් රෝහල් ගතවීමට සිදුවේ. එනම්,
1. රෝගී තත්ත්වය නිසා සිය කැමැත්තෙන් රෝහල් ගතවීම.
2. හදිසි අනතුරකට ලක්වී පොලීසිය මගින් හෝ අවට සිටි පුද්ගලයන් විසින් රෝහල් ගතවීම.
3. වෛද්‍යවරයකුගේ සහාය ඇතිව රෝහල් ගතවීම.
4. මානසික රෝග තත්ත්වයන් නිසා අධිකරණය මගින් රෝහල් ගතවීම.

මේ අනුව ඉහත සඳහන් කිහිප ආකාරයකින් රෝහල් ගතවූ අවස්ථාවේ සිට රෝහලෙන් පිටවනතුරු ආරක්ෂාව ලබාදිය යුතුය. මෙහිදී ප්‍රධාන වශයෙන් රෝගියාගේ පරිසරය සුරක්ෂිත විය යුතුය. මෙහිදී මෙම පරිසරය පිරිසිදු, සිත් ගන්නා ලෙස තිබිය යුතුය. හොඳින් ආලෝකය සහ වාතාශ්‍රයක් ලැබෙන ස්ථානයක් විය යුතුය. ඒ වගේම රෝගියා සිටින ඇඳ පවා ආරක්ෂිත තත්ත්වයේ තිබිය යුතුය. සමහර අවස්ථාවල දී මෙම ඇඳන් රෝගියාගේ රෝග තත්ත්වය අනුව ද වෙනස් වේ. (උදා. වෛද්‍ය හේතු, ශල්‍ය හේතු, මානසික සහ අසිහි රෝගී යන හේතුන් මත උසින් වැඞ් ඇඳන්, උසින් අඩු ඇඳන්, සහ බාර් සහිත ඇඳන් යනාදිය ලෙස) තව ද පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයකු සහ අසිහි රෝගීවූ පුද්ගලයන් හට ලබාදෙන සෑම පිළිවෙතක් ම ඉතාමත් ආරක්ෂාකාරී විය යුතුය.

තව ද නේවාසික ප්‍රතිකාර ලබන රෝගින් හට මැසි මදුරු උවදුරුවලින් ද ආරක්ෂා කළ යුතුය. එනම් රෝහල් වටා තිබෙන කාණු පද්ධතියන් පවා පිරිසිදුතාවයෙන් යුක්ත විය යුතු අතර මදුරු දැල් වැනි දෑ ද තිබිය යුතුය.

සමහර අවස්ථාවල දී මහල් දෙක තුනකින් යුක්ත රෝහල් ද තිබිය හැකිය. එවැනි රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් හට විශේෂ ආරක්ෂාව තිබිය යුතුය. එනම් රෝගීන් ප්‍රතිකාර ලබන වාටිටුවල ජනෙල්වලට ආරක්ෂිත දැලකින් ආවරණය කළ යුතු අතර ඉහළ මහල් අතර තිබෙන පියගැටපෙළවල් පවා ආරක්ෂිත ලෙස සකස් කර තිබිය යුතුය.

නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන් හට සරස් ආසාදනවලින් වළක්වාගත යුතුය. එනම් යම් කිසි බෝවන රෝග තත්ත්වයක් ඇති පුද්ගයකුගෙන් තවත් පුද්ගලයකුට එම රෝග තත්ත්වය වැලඳීම හෝ රෝග තත්ත්වයක් ඇති පුද්ගයකුගෙන් නිරෝගී පුද්ගලයකුට එම

රෝග තත්ත්වය වැලඳීම වළක්වාලීමයි. නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් හට කරනු ලබන සෑම පිළිවෙතක් ම ආරක්ෂාකාරී ලෙස කළ යුතුය. මෙම රෝගීන් හට පිරිසිදු පානීය ජලය සපයා දීමට අවශ්‍ය කටයුතු සලසා දිය යුතුය. (උතුරවා නිවාගත් ජලය) ආහාර පානාදිය අනුභව කිරීම සඳහා පිරිසිදු ස්ථානයක් සකසා දිය යුතුය. (මැස්සන්ගෙන්, කූඹි වැනි කෘමි සතුන්ගෙන් තොරව).

මෙම රෝගීවූ පුද්ගලයන් හට වාට්ටුවේ දී ලබාදෙන ඖෂධ පවා ආරක්ෂිත ලෙස ලබාදිය යුතුය. රෝගීවූ පුද්ගලයාට ලබාදුන් ඖෂධ එවලේ ම බීමට සැලැස්විය යුතුය.

නේවාසිකව ප්‍රතිකාර ගන්නා පුද්ගලයන් හට තමන් පරිහරණය කර ඉවතලන අපද්‍රව්‍යයන් ආරක්ෂිතව ක්‍රමවත්ව බැහැරලන ක්‍රමවේදයක් සලසා දිය යුතුය. රෝගීන්ගේ රෝග තත්ත්වයන් මත වැසිකිලි පහසුකම් සහ අනෙකුත් ජල පහසුකම් ලබාදීමට සැලසුම් කළ යුතුය.

නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන් හට පරිසර ආරක්ෂාව වගේම මානසිකව ද ආරක්ෂාව ලබාදිය යුතුය. මෙම පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක ඇත. මෙවිට දී අප සෑම කෙනෙකුගේ ම වගකීම වනුයේ එම රෝගී පුද්ගලයන් හට මානසික සුවය ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමයි. එනම් එම පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගත යුතුය.

පළමුව එම රේා්ගීවූ පුද්ගලයා සමග සුහදත්වයෙන් පිළිගෙන කතා කළ යුතුය. තමන් රෝගියාගේ තත්ත්වයට පත්වී සෑමවිට ම රෝගියාගේ හඬට සවන් දිය යුතුය. පොදු ආගමික වතාවත්වලට සහභාගිවීමට අවශ්‍ය කටයුතු සලසා දිය යුතුය. ඒ වගේම මෙම පුද්ගලයන් හට විනෝදාංශවල යෙදීමට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුය. (චෙස් ක්‍රීඩා, දාම් ක්‍රීඩා යනාදිය) එම රෝගීවූ පුද්ගලයන් හට කියවීමට අවශ්‍ය පුවත්පත් සඟරා ආදිය ලබාදිය යුතුය. මෙම රෝගීවූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ව සුහදත්වයෙන් පිළිගෙන සුහදව කතා කළ යුතුය.

නේවාසිකව ප්‍රතිකාර ලබාදී නිවසට යාමට පෙර අවශ්‍ය උපදෙස් රෝගීවූ පුද්ගලයාට සහ පවුලේ සාමාජිකයන් හට ලබාදිය යුතුය. එනම්,
■ රෝහලේ දී ලබාගත් ඖෂධ ප්‍රතිකාරයන් තව දුරටත් නිවසය දී පාවිච්චි කළ යුතු ආකාරය සම්බන්ධව එම රෝගීවූ පුද්ගලයාට සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ද දැනුවත් කළ යුතුය.
■ නිවසේ දී ලබාදිය හැකි ආහාර පාන ලබාගත යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කළ යුතුය.
■ නිවසේ දී ආරක්ෂිත පරිසරයක් සකසාගත යුතු ආකාරය ගැන දැනුවත් කළ යුතුය.
■ මානසිකව සුවය ලබාදීමට අවශ්‍ය පරිසරය සකසාගත යුතු ආකාරය සම්බන්ධව දැනුවත් කළ යුතුය.
■ රෝහලෙන් නිවසට පැමිණි පසු එම පුද්ගලයා තනි නොකර ආදරයෙන්, කරුණාවෙන්, පිළිගෙන කතා කළ යුතුය.
■ හැකි සෑම විට ම රෝගීවූ තැනැත්තා සමග රැඳිය යුතුය.
■ අදාළ දිනයන්හි සායනයට සහභාගීවීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුය.

රෝගීවූ පුද්ගලයා රෝහලේ දී නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට යන අවස්ථාව තෙක් ම සෑම ක්‍රියාකාරකමක් ම රෝගීවූ පුද්ගලයාට අනතුරක් නොවන ආකාරයට, එනම් ආරක්ෂිත ලෙස සැලසුම් කළ යුතු අතර, රෝහලෙන් පිටවී නිවසට ගිය පසුව ද, ඉහතින් සඳහන් කළ, කළ යුතු ක්‍රියාකාරකම් ගැන ද දැනුවත් කළ යුතුය.

අපි සැවොම එකමුතුවී රෝගීවූ පුද්ගලයන් සඳහා වූ සුරක්ෂිත ලෝවක් කරා පියමං කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ගනිමු.

එච්. ජී. ටී. පී. සිල්වා
මහජන සෞඛ්‍ය හෙදි සොයුරිය
(සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය – රඹුක්කන)