Health

දරු ප්‍රසූතියකින් පසු මව සහ පවුලේ සාමාජිකයන් දැනගත යුතු දෑ

දරු ප්‍රසූතයකින් පසුව මවට හා ළදරුවාට වැඩි අවධානයක් යොමු කළ යුතු අවධියක් වේ. මෙම කාලය තළ දී ද මවගේ සාමාන්‍ය පැවැත්ම පිළිබඳව ද සැලැකිලිමත් විය යුතුය. මුහුණ සේදීම, දත් මැදීම, ස්නානය කිරීම පෙර පරිදිම සිදු කළ හැකි අතර වෙනත් රෝග තත්ත්වයක් නොමැති නම් දරු ප්‍රසූතියට පසු දා සිට ම ස්නානය කිරීම ඉතාමත් වැදගත් ය.

දරු ප්‍රසූතියකින් පසුව මවකට විවේකය අත්‍යවශ්‍ය වන අතර දැඩි ලෙස කය වෙහෙසා කරන ක්‍රියාවන් නොකළ යුතුය. මුල් දින කිහිපය තුළ දී වැඩිපුර විවේකය අවශ්‍ය ය. විශේෂ අපහසුවක් නොවේ නම් පසුව ක්‍රම ක්‍රමයෙන් ගෙදර දොර සාමාන්‍ය වැඩ කටයුතුවල නිරත විය හැකිය. මෙහිදී මවට විfවිකය ලබාදීම පවුලේ අයගේ වගකීමක් වන අතර එයට පවුලේ සියලුදෙනාගේ ම සහයෝගය ද අවශ්‍ය ය. ඉවුම් පිහුම් කටයුතු, ගේ දොර ඇමදීම හා රෙදි සේදම වැනි කටයුතවල දී හා සහයෝගය ලබාදිය හැකි සෑම අවස්ථාවක දී ම අවශ්‍ය උදව් ලබාදීම ස්වාමි පුරුෂයා සහ පවුලේ සියලුදෙනාගේ ම වගකීම වේ.

විශේෂයෙන් ම මව මෙම කාලය තුළ දී පුද්ගලික පවිත්‍රතාවයට වැඩි සැලකිල්ලක් ලබාදිය යුතුය. ප්‍රසූතියෙන් පසු සති දෙකක් පමණ යන තුරු යෝනි රුධිර වහනය පවතින බැවින් අවශ්‍ය ලෙස සනීපාරක්ෂක තුවා භාවිත කළ යුතුය. විශේෂයෙන් ම අපාන ප්‍රදේශය සබන් සහ පිරිසිදු ජලයෙන් සෝදා වියළිව තබාගත යුතුය. සාමාන්‍ය ප්‍රසූතියක් කරන ලද මවක් නම් උණු ජලය භාවිත නොකළ යුතුය.
(සාමාන්‍ය ප්‍රසූතියක දී මැහුම් වැටුණ මවක් නම් එම මැහුම් ගැලවි යා හැකි බැවින්.).

දරු ප්‍රසූතියෙන් පසු මවගේ පෝෂණය

ගර්භණී සමයේ දී මෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ද මවගේ පෝෂණය ඉතා වැදගත් ය.

දරු ප්‍රසූතියෙන් පසු මවගේ පෝෂණය කරුණු 4ක් නිසා වැදගත් වේ.

1. ගර්භණී සමයේ දී සහ දරු ප්‍රසූතියේ දී වැයවූ පෝෂක කොටස් යථාවත් කරගැනීම සඳහා.
2. මාස හයක් වනතුරු මව් කිරි පමණක් ලබාදීම (Exclusive Breast Feeding) තුළින් දරුවාගේ පෝෂණ තත්ත්වය නගාලීම සඳහා.
3. මවගේ දෛනික ක්‍රියකාරකම්වලට අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා.
4. ජීවිත කාලය පුරා මවගේ නිරෝගී සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාම සඳහා.

ඉහත සඳහන් කරුණු සපුරාලීම සඳහා මෙම කාල සිමාව තුළ දී මවට අවශ්‍ය අමතර කැලරි, ප්‍රෝටීන්, ක්ෂුද්‍ර පෝෂක යනාදිය ලබාදීම වැදගත් වේ.

ලබාගත යුතු ආහාර කාණ්ඩ නම්,

ධාන්‍ය සහ අල බතල
බත්, තිරිඟු, කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි, හාල් පිටි හා තරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනයන් (පාන්, ඉඳි ආප්ප, රොටී, පිටිටු) ද,
අල – බතල, මඤ්ඤොක්කා, ඉන්නල, කිරි අල, අර්තාපල් යන අල වර්ගයන් ද,
පිෂ්ටය අඩංගු කොස්, දෙල් වැනි දේ ආහාරයට ගැනීම තුළින් දෛනික ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය ලබාගත හැකිය.

පළතුරු සහ එළවළු
කෙසෙල්, අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම්, පේර, අලිගැට පේර, සහ වෙනත් පලතුරු ද,
කොළ එළවළු – කංකුන්, නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, කතුරුමුරුංගා හා මුරුංගා කොළ ඇතුළු වෙනත් පළා වර්ග ද,
ගෙඩි සහ අල සහිත එළවළු – පතෝල, වම්බටු, අළු කෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි, කැරට්, රතු අල, වැටකොළු සහ කරවිල යනාදිය ආහාරයට එක් කර ගැනීම තුළින් ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකිය.

මාළු, මස්, බිත්තර, පියලි හා ඇට වර්ග – මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, ඉස්සන්, කකුළුවන්, කුකුළු මස්, එළු මස්, හරක් මස් හා සත්ත්ව අක්මා, බිත්තර සහ කඩල, මුං, කවිපි, සෝයා, උළුඳු, පරිප්පු සහ බෝංචි යනාදිය ද ආහාරයට එක් කර ගැනීම තුළින් ශරීර වර්ධනයත්, අලුත් වැඩියාවත් සිදු කරයි.

කිරි හා කිරි නිෂ්පාදන
කිරි, මුදවපු කිරි, යෝගට්, චීස් යනාදිය ආහාරයට ගැනීමෙන් ඔබගේ දත් සහ අස්ථි වර්ධනයත්, අලුත්වැඩියාවත් සිදු කරන අතර ම පොල්, කජු, රට කජු, බටර් වැනිදෑ ආහාරයට එක් කර ගැනීම තුළින් ද දෛනික ක්‍රියාවන් සඳහා අවශ්‍ය ශක්තිය, ශරීරයේ වර්ධනය හා ශරීරයේ විවිධ පරිවෘත්තීය ක්‍රියා ඉටු කිරීම සඳහා ද අත්‍යවශ්‍ය වේ.

ඉහත සඳහන් සෑම ආහාර කාණ්ඩයකින් ම දිනපතා ආහාරයට ගැනීම තුළින් සෑම පෝෂ්‍ය පදාර්ථයක් ම ශරීරයට ලැබීම තුළින් මවගේ පෝෂණ තත්ත්වය නංවාලීම තුළින් දරුවාගේ පෝෂණය ද නංවාලිය හැකිය.

මෙහිදී දරුවාට මව් කිරි දෙන බැවින් මවගේ කැලරි අවශ්‍යතාව ගර්භණී සමයේ දී කැලරි අවශ්‍යතාවට වඩා වැඩි ය. ගර්භණී සමයේ දී නිසි බර වැඩිවීමක් සිදුවූ මවක වුව ද කිරි දෙන අවධියේ දී ඉහත සඳහන් ආහාර කාණ්ඩයන් වැඩිපුර ප්‍රමාණයක් දිනපතා ගත යුතුය.

මව් කිරි දෙන අවධියේ දී කැල්සියම්වල ඇති වැදගත්කම නම්
මව් කිරිවල කැල්සියම් බහුල වශයෙන් ඇති අතර මව් කිරි නිපදවන කාර්යය සඳහා මවගේ කැල්සියම් සංචිතයෙන් (අස්ථි) කැල්සියම් ලබාගන්නා බැවින් මවගේ අස්ථිවල අඩංගු කැල්සියම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් අස්ථි දුර්වල වේ. මෙම තත්ත්වය මගහැරීම සඳහා කැල්සියම් බහුල ආහාර දිනපතා ගත යුතුය. (මාළු, මස්, කරවල, හාල්මැස්සන්, සහ කිරි, චීස්, යෝගට්, මුදවපු කිරි සහ තද කොළ පැහැති පළා වර්ග සහ අනෙකුත් එළවළු.).

තව ද මෙම කාලයේ දී කැල්සියම් පෙති පරිපූරකයක් ලෙස මාස හයක් යනතුරු ගැනීම තුළින් එම තත්ත්වයන් මගහරවාගැනීමට උපකාරී වේ. ඒ වගේම යකඩ පෙති හෝ යකඩ පොලික් අම්ල පෙති ද විටමින් සී සමග මාස හයක් යනතුරු ගත යුතුය. එනම් ඒ මවට ඇති වන නීරක්තය තත්ත්වය වළක්වාගැනීම සඳහා ය.

දරුවාට මාස හයක් යනතුරු ම මව් කිරි පමණක් ම ලබාදිය යුත්තේ ඇයි?

අලුත උපන් දරුවාට මාස හයක් සම්පූර්ණ වන තෙක් ප්‍රශස්ථ මට්ටමෙන් වර්ධනයක් සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පෝෂක කොටස් මව් කිරිවල අඩංගු වේ. එමෙන්ම මව විසින් නිපදවන මවිකිරි ප්‍රමාණය ද දරුවාගේ වර්ධනය සඳහා ප්‍රමාණවත් වන අතර මෙමගින් දරුවාට අවශ්‍ය ජලය ද ප්‍රමාණවත් ලෙස ලැබෙන බැවින් දරුවාට අමතර දියර වර්ග ලබාදීම ද අවශ්‍ය නොවේ. මාස හයක් යන තෙක් මව් කිරි පමණක් ලබාදීම හේතුවෙන් දරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා වන අතර අසාත්මික රෝගවලට ගොදුරුවීමේ අවදානම ද අඩු වේ.
ඒ වගේම නිවසට එන අලුත උපන් දරුවා සහ මව පිළිගැනීමට පවුලේ හැමෝම ඉතා නොඉවසිල්ලෙන් බලා සිටින අතර ම එම නිවස තිබිය යුතු ආකාරය ද දැනගත යුතුය. එනම්,

■ මව සහ දරුවා සිටින කාමරය හොඳින් පිරිසිදු කරගත යුතුය.
■ කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සියලු ම ජනේලයන් හැර දැමිය යුතුය.
■ අනවශ්‍ය බඩුබාහිරාදිය ඉවත් කළ යුතුය. (සපත්තු, සෙරෙප්පු සහ ඇඳුම් රඳවනයන් ආදිය.).
■ මව සහ දරුවා සිටින කාමරය තුළ විවිධ වර්ණවලින් යුත් හැඩතල රටා සහිත රූපයන් තබාගත යුතුය.
(දරුවාගේ වර්ධනයත් සමග ම මනෝ සමාජයීය තත්ත්වය නංවාලීමට උපකාරී වන බැවිනි.).
■ දරුවාගේ අපිරිසිදු වන නැප්කින්, ගවුම් ආදිය බහාලීමට වෙනම ම භාජනයක් තබාගත යුතුය.
■ නිවස අවට පරිසරය ද පිරිසිදු කර තබාගත යුතුය. එනම් මැසි මදුරුවන් තොර සහ අලංකාර පරිසරයක් සඳහා.

දරු ප්‍රසූතියෙන් පසු, එනම් දින කිහිපයකට පසු අලුත උපන් දරුවා බැලීමට නැදෑ හිතමිතුරන් පැමිණිය හැකිය. නමුත් එම එන නැදෑ හිතමිතුරන් සීමා කරගත හැකි නම් වඩා සුදුසුයි. (එනම් දරුවාට ඇතිවිය හැකි ආසාදන තත්ත්වයන් වළක්වාගැනීම සඳහා.).

දරු ප්‍රසූතියෙන් පසු ගෙදරට එන දරුවා මවගේ දෙවෙනි හෝ තුන් වැනි දරුවා විය හැකිය. එවිට දී නැදෑ හිතමිතුරන් පැමිණෙන විට දී ගෙන එනු ලබන තෑගි බෝග ආදිය, සිටින වැඩිමහල් දරුවාට දී ඇයව හෝ ඔහුව ආදරයෙන් සැනසිය යුතුය. මෙවැනි අවස්ථාවල දී වැඩිමහල් දරුවන් හට මානසික තෘප්තිය ලබාදිය යුතුය.

මව් කිරි ලබාදෙන මවකට වුව ද දිනපතා ව්‍යායාමවල යෙදීම සුදුසු වන අතර මව් කිරි ලබාදීමට මෙය ගැටලුවක් නොවේ.

දරු ප්‍රසූතියෙන් පසු එනම් සති හයකට පසු දරුවන් අතර පරතරය තබාගැනීම සඳහා සුදුසු පවුල් සංවිධානයක්, ක්‍රමයක් ගැන ද ස්වාම් පුරුෂයා සමග සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් දැනගත හැකිය.

ස්වාමි පුරුෂයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් එකතුවී අවශ්‍ය සහයෝගය මවට සහ දරුවා හට ලබාදීම මගින් ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික රෝග තත්ත්වයන් ද වළක්වාගත හැකිය.

බැහැර කළ යුතු මිත්‍යා මත නම්
■ දරුවකු ප්‍රසූත කළ පසු කුඩා මාළු, හාල්මැස්සන්, පළා වර්ග ආදිය ආහාරයට ගැනීමට නුසුදුසුයි. (එනම් මවගේ බඬේ ඇලෙනවා කියලා) (මෙම ආහාර නොගන්නේ නම් පෝෂණ ඌනතා තත්ත්වයන් ඇතිවේ.).
■ මව් කිරි දීම සඳහා කිරි පානය කිරීම අත්‍යවශ්‍යයි. (නමුත් මව් කිරි දීමට පෙර යම් උණුසුම් පානයක් ගැනීම සුදුසුයි.). (උණු ජලය වුව ද සෑහේ.).
■ වතුර බීම නිසා බඩ නෙරා එයි. (නමුත් මව අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළ යුතුය.).
■ කාන්තාව ගෙදර අනෙකුත් සමාජිකයන් ආහාර ගත් පසු ආහාර ගත යුතුයි. (මෙවැනි තත්ත්වයන් නිසා මවගේ සෞඛ්‍යයට මෙන්ම පෝෂණයට ද අහිතකර බලපැම් ඇති කරයි.).
■ අලුත උපන් දරුවාට රත කල්කය ලබාදිය යුතුයි. (මෙමගින් දරුවාට අසාත්මිකතා තත්ත්වයන් ඇති විය හැකිය.).
විශේෂයෙන් ම
■ මව සහ දරුවා සති හතරකට පසු, පසු ප්‍රසව සායනයට යා යුතුය. මෙහිදී දරුවාගේ බර කිරා වර්ධන තත්ත්වය ද මවගේ තිබෙන ගැටලුවලට ද අවශ්‍ය උපදෙස් ද ලබාගත හැකිය.
■ සති හයකට පසු පවුල් සංවිධාන ක්‍රමයක් අවශ්‍ය නම් ඒ සඳහා ද පසු ප්‍රසව සායනයට යා යුතුය.
අවශ්‍ය සෑම අවස්ථාවක දී ම මවගේ සහ දරුවාගේ සමීපතම යෙහෙළිය වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේන් අදාළ උපදෙස් ලබාගත හැකිය.

එච්. ජී. ටී. පී. සිල්වා
මහජන සෞඛ්‍ය හෙදි සොයුරිය
(සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය – රඹුක්කන)