Relax

නිතර ම හිනාවෙන්න ඕනෙ ඇයි?

ඔබ නිතර ම සිනාසෙන කෙනෙක්ද? දැන් ඔබට හිතෙයි මෙච්චර ප්‍රශ්න තියෙද්දි කොහොමද නිතර ම හිනාවෙලා ඉන්නෙ කියලා. එහෙමත් නැත්නම් ඔබට හිතෙයි හැම තිස්සේ ම හිනා වෙද්දි ඔබට පිස්සු කියලා අනිත් අය හිතයි කියලා. එහෙමත් නැත්නම් ඔබට හිතෙයි නිතර ම හිනා වෙන එකට වඩා ආඩම්බර විදිහට ඉන්න එක හොඳයි කියලා. ඔබට හිනාවෙන එක ගැන මොනවා හිතුණත් හිනාවීමෙන් ඔබට ලැබෙන දේ බොහෝමයි කියලා මායෝ ක්ලිනික් වෙබ් අඩෙවිය වාර්තා කරනවා.

1. හිතට සැනසීමක් ලැබීම
ඔබ ඇත්තට ම හදවතින් ම හිනාවෙන කෙනෙක් නම් ඔබේ හිතට අනිවාර්යයෙන් ම සැනසීමක් ලැබෙනවා. ඒ වගේ ම ඔබේ මුහුණේ මස් පිඩු ඉහිල් වෙන නිසා මොළයටත් දැනෙන්න ගන්නවා ඔබ සතුටින් ඉන්නවා කියන එක. ඒ නිසා මොළයත් නිතර ම සතුටුදායි සංඥා පමණක් නිකුත් කරනවා. එතකොට ඔබට තවත් වැඩි සැනසීමක් ලැබෙනවා.

2. බෝවීම
ඔබ හැම තිස්සේ ම හිනාවෙලා ඉද්දි ඔබේ ඉස්සරහට මුණගැහෙන අයත් ඔබ එක්ක හිනා වෙනවා. ඒ අය ඔබේ හිනාවට ප්‍රතිචාර දක්වනවා. ඒකෙ තේරුම තමයි හිනාව කියන්නෙ බෝවෙන දෙයක් කියන එක. එතකොට ඔබේ වටාපිටාවෙ ඉන්න අනිත් අය හැමෝම එකිනෙකා එක්ක හිනාවෙනවා. ඉතින් ඔබේ හිනාව නිසා අනිත් අයගෙ හිතටත් සතුටක් ඇති වෙනවා.

3. ආක්ර්ෂණීයවීම
ඔබ හැම තිස්සේ ම හිනා වෙද්දි අනිත් අයට ඔබව ආකර්ෂණීය වෙනවා. විශේෂයෙන් ම පිරිමි අයට. ඔබ ඔබේ මුහුණ මේක් අප් කරගෙන ඉද්දි ඔබ ගැන ඇති වන ආකර්ෂණය බවට වඩා ඔබ මේක් අප් කිසිත් නැතිව හිනා වෙලා ඉද්දි ඔබට ලැබෙන ආකර්ෂණය වැඩියි. ඉතින් මේක් අප් නැතිව ම ආකර්ෂණීය වෙන්න ඔබ කැමති නැද්ද?

4. තරහා නැතිවීම
ඔබ එක්ක තරහින් ඉන්න කෙනෙක් ඔබට මුණගැහුණොත් එයාට රවනවා වෙනුවට එයා එක්ක හිනා වෙන්න. ඔබේ එක ම එක හිනාවකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබත් එක්ක අවුරුදු ගණනාවක් තිස්සේ තරහින් ඉන්න කෙනෙකුගේ තරහා සම්පූර්ණයෙන් ම නැති කරලා ඒ පුද්ගලයා ඔබේ මිතුරෙක් කරවන්න ඔබේ හිනාවට පුළුවන්.

5. ශබ්ද නගා සිනාසීම
දුරකතනයෙන් කවුරුන් හෝ එක්ක කතා කර කර ඉද්දි ඔබ සිනහා මුසු මුහුණින් හිටියට වැඩක් නැහැ. අනිත් පැත්තෙ ඉන්න කෙනාට ඔබව පෙනෙන්නෙ නැහැනෙ. ඒ නිසා ශබ්ද නගා හිනා වෙන්න. එතකොට ඔබේ හිනාවේ ශබ්දය ඇහෙන, ඔබත් එක්ක කතා කරන කෙනා විතරක් නෙවෙයි, ඔබේ වටාපිටාවේ ඉන්න අයත් හිනාවේවි. තත්ත්පර කීපයකට හරි අනිත් අයව සතුටට පත් කරන්න ඔබට පුළුවන්.

6. වැඩි කල් ජීවත්වීම
හැම තිස්සෙ ම හිනාවෙලා ඉන්න අය නපුරු, තරහින් ඉන්න අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා සොයාගෙන තිබෙනවා. හැබැයි බොරුවට හිනාවෙලා ඇත්තට ම දුකින් ඉන්න අය නෙවෙයි, මුළු හදවතින් ම හිනාවෙන අයගෙ තමයි ආයු කාලය වැඩි. හරියට ම කියනවා නම් හොඳින් සිනාසීම නිසා හොඳින් රුධිර සංසරණය සිදුවීමෙන් ආයු කාලය දින හතකින් පමණ වැඩිකරගන්න පුළුවන්.

7. සිනාවේ ඇරඹුම
අපි හිතාගෙන ඉන්නෙ පුංචි දරුවන් හිනා වෙන්න පටන්ගන්නෙ ඉපදිලා සති දෙකක් තුනක් ගියාට පස්සෙ කියලා නේද? ඒක වැරදියි. බිළිඳෙක් ඉපදුණු ගමන් අඬනවා. ඊට පස්සෙ එයා හොඳට කිරි බීලා බඩ පිරුණට පස්සෙ නිදාගන්නවා. එයාගෙ පළමු නින්දේදි එයා හොඳට හිනා වෙනවා. ඒ කියන්නෙ ශබ්ද නගලා නෙවෙයි. බොහොම හිමින් නින්දෙන් හිනා වෙනවා.

8. හිනාවේ වර්ග
අපි හැම තිස්සේ ම හිනා වෙන්නෙ එක ම විදිහට කියලා හිතුවට ඇත්තට ම එහෙම නැහැ. හිනාවේ වර්ග 17ක් තියෙනවා කියලා සොයාගෙන තිබෙනවා. ආදර හිනාව, සත්‍ය හිනාව, අපහසුවට පත් කරන හිනාව, ලජ්ජා සහගත හිනාව, නෝන්ඩි හිනාව, සතුටු හිනාව ආදී වශයෙන් ඒවා නම් කරන්න පුළුවන්.

9. හේතුවක් නැතිව හිනාවීම
ඔබ චිත්‍රපටයක් නරඹමින් ඉන්නවා කියලා හිතන්න. චිත්‍රපටයේ යම් හාස්‍ය ජවනිකාවක් නිසා ඔබේ වටා පිටාවේ ඉන්න අය හිනා වෙනවා. නමුත් ඔබට ඒකට හිනා යන්නෙ නැහැ. මොකද ඒක හිනා යන්න තරම් දෙයක් නෙවෙයි. ඒ වුණත් වටා පිටාවේ ඉන්න අය හිනා වෙද්දි ඔබටත් ඉබේට ම හිනා යනවා. හැබැයි ඇත්තට ම බැලුවොත් ඒක හිනා යන්න තරම් දෙයක් නෙවෙයි කියන එක ඔබ දන්නවා.

10. සතුටේ සංඥාව
සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් හිනා වෙන්නෙ සතුටට. ඒ නිසා ලෝකයේ සතුටේ සංඥාව සිනහාව කියලා තමයි හඳුන්වන්නෙ. ඔබට ඔබේ ජීවිතයේ පහුගිය සුන්දර අවස්ථා මතක් වෙද්දි හිනා යන්න පුළුවන්. ඒ වගේ ම දුක හිතුණු අවස්ථා මතක් වෙද්දි ‘මම ඒකට කොහොම හරි මුහුණදුන්නනෙ’ කියලා හිතලා හිනා යන්න පුළුවන්. ඒ වගේ ම වර්තමානයේ යම් සතුටුදායක දෙයක් මතක් වෙලා හිනායන්න පුළුවන්. අනාගතයේ සිදු වෙන්න නියමිත සතුටුදායක දෙයක් නිසා හිනා යන්න පුළුවන්. එහෙනම් අපිට ඕනෙ තරම් හිනා වෙන්න දේවල් තියෙද්දි නේද මේ මුහුණ පුළුටු කරගෙන ඉඳලා තියෙන්නෙ?

සටහන – දුලංජලී මුතුවාඩිගේ