Fitness

ඔබ අනිවාර්යයෙන් ම එක ක්‍රීඩාවක්වත් කළ යුතුයි

මිනිසා ක්‍රීඩාවට ඇලුම් කරන්නේ අද ඊයේක සිට නොවේ. ඇතැම් පුද්ගලයන් ක්‍රීඩා තරග නැරඹීම විනෝදාංශයක් කරගෙන සිටී. එසේම ක්‍රීඩා කිරීමට කැමති පුද්ගලයන් ද බොහෝ ය. එහිදී වෘත්තීමය වශයෙන් නිශ්චිත ක්‍රීඩාවක හෝ ක්‍රීඩා කිහිපයක නියැලෙන්නන් වගේම විනෝදාශ්වාදය උදෙසා ක්‍රීඩා කරන පුද්ගලයන් ද ඇත. ශරීර සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය නිසි අයුරින් පවත්වාගෙන යාම උදෙසා ක්‍රීඩා කරන පිරිසක් ද සිටී. ඒ ආකාරයෙන් කුමන හෝ හේතුවක් මත සෑම පුද්ගලයෙක්ම පාහේ ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිත කාලයෙන් කොටසක් වෙන්කරගනී.
එලෙස මිනිසාගේ ජීවිතය හා බැඳී පවතින ක්‍රීඩාව සමග ශරීර සෞඛ්‍යයට ඇති සම්බන්ධය කුමන ආකාරයෙන් පැවතිය හැකිද? ක්‍රීඩාව පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයට කරන බලපෑම කෙබඳුද? ක්‍රීඩාව ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්ද? ආදී ගැටලු ඔබ, අප බොහෝ අවස්ථාවලදී සිතා, විමසා ඇත.
එමෙන්ම දෙමාපියෝ තමන්ගේ කුඩා දරුවන්ව කුමන හෝ ක්‍රීඩාවකට යොමු කිරීමේදී සැලකිලිත් වන කරුණු බොහෝමයක් තිබේ. ඒ අතරින් ප්‍රධාන වන්නේ දරුවාගේ ආරක්ෂා, සෞඛ්‍ය තත්ත්වය, ක්‍රීඩාවේ ස්වභාවය, එයට යොමුවීමත් සමග දරුවන් තම අධ්‍යාපන කාර්යය අතපසු කරගනීවිද? වැනි කාරණා වේ. එනමුත් ක්‍රීඩාව තුළින් ඔවුන් ශාරීරික හා මානසික වශයෙන් සවිබල ගැන්වෙන ආකාරය පිළිබඳව ඇතැම්විට වැඩිහිටියන් දැනුවත්ව නොමැත. තව ද යම් පුද්ගලයෙක් මුල්වරට යම්කිසි ක්‍රීඩාවකට යොමුවන්නේ නම් හෝ දරුවෙකු යම්කිසි ක්‍රීඩාවකට මුල්වරට යොමු කරන්නේ නම් ඔහු හෝ ඇය දැනගත යුතුව ඇති කරුණු බොහෝය.

ක්‍රීඩාව සහ සෞඛ්‍යය අතර ඇති සම්බන්ධය

ක්‍රීඩාව සහ සෞඛ්‍යයය අතර විශාල කිට්ටු සම්බන්ධයක් පවතී. එනම් විශේෂයෙන්ම සෑම ක්‍රීඩාවක්ම සෞඛ්‍යයේ
කුමන හෝ අංශයකට උපකාර වේ. උදාහරණයක් වශයෙන් දාම්, කැරම් වැනි ක්‍රීඩාවක් හරහා ශාරීරික ව්‍යායාමයක් සිදු නොවුණ ද මානසික පුද්ගලයෙක් ශක්තිමත් කිරීමට එවැනි ක්‍රීඩාවන්ට හැකිය. ඒ ආකාරයෙන් ඕනෑම පුද්ගලයෙකු තමන්ට ගැළපෙන කුමන හෝ ක්‍රීඩාවක නිරත වීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට යෝග්‍ය වේ.

සෞඛ්‍යසම්පන්න ජීවිතයකට ක්‍රීඩාව අත්‍යවශ්‍යද?

වර්තමානය වනවිට තහවුරු වී ඇති කරුණු අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩාව අත්‍යවශ්‍ය බව දැක්විය හැකිය. ඒ වෙනුවෙන් මේ වනවිට පාසල්වලට චක්‍රලේඛනයක් ද නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ සෑම පාසල් දරුවෙක්ම එක ක්‍රීඩාවක්වත් කළ යුතු බවයි. ඉතා වැදගත් චක්‍රලේඛනයක් වන එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකික ජනතාව හොඳ සෞඛ්‍යසම්පන්න පිරිසක් බවට පත්වීම නියත ය.

ක්‍රීඩා කරන පුද්ගලයන්ගේ විශේෂත්වය

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අපට හමුවන දක්ෂ, කාර්යශූර පුද්ගලයන් බොහෝවිට කුමන හෝ ක්‍රීඩාවකට යොමුව ඇති පුද්ගලයන් ය. එසේම ක්‍රීඩා කරන පුද්ගලයෙකුට සෞඛ්‍ය සම්පන්නව සහ සැලැස්මක් සහිතව ජීවත්වීම ඉතාමත් පහසු ය. ඔවුන් හොඳ පෞරුෂයකින් හෙබි ය. මීට අමතරව ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තියක් රැගෙන ඒමට ද හැකියාව ඇත. එමෙන්ම ක්‍රීඩාව තුළින් රටට ශක්තිමත් පුරවැසියන් බිහි වේ.

පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට ක්‍රීඩාව බලපාන ආකාරය

ක්‍රීඩාව පුද්ගලයෙකු මානසික වශයෙන් ප්‍රබෝධමත් කරයි. එහිදී එයට විවිධ හේතු බලපෑ හැකිය. ඒ අතරින් ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන විට ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රසායනික ක්‍රියාවලිය හේතුවෙන් ද මනසට සැනසීමක්, නිදහසක්, සතුටක් දැනෙයි. එම ක්‍රියාවලිය සිදුවන්නේ අදාළ පුද්ගලයා ශාරීරිකව ශක්තිමත්වීමට අමතරව ය. එමෙන්ම යෝග ව්‍යායාම ආදිය සිදුකිරීමේදී බොහෝ සෙයින් මනස හා සම්බන්ධව කටයුතු කරයි. ඒ අනුව ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශක්තිමත් ජීවිතයකට ක්‍රීඩාව හොඳම විසඳුමකි.

ක්‍රීඩාවකට අලුතින් යොමුවන පුද්ගලයෙක් සැලකිලිමත් විය යුතු දේ

යම් ක්‍රීඩාවකට පුද්ගලයෙක් අලුතින්ම යොමු වන විට සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබේ. විශේෂයෙන්ම අදාළ ක්‍රීඩාව තෝරාගත යුත්තේ තමන්ගේ වයස පිළිබඳව ද අවබෝධයෙන් යුතුව ය. එනම් බෝහෝ පුද්ගලයන් කිසියම් ක්‍රීඩාවක් තෝරාගන්නේ ළමා අවධියේදී වුවත් මැදිවියේදී ද ක්‍රීඩාවන්ට යොමුවන පුද්ගලයන් සිටී. එය කෙසේ වෙතත් යම් අයෙක් කය වෙහෙසක ක්‍රීඩාවකට යොමුවන්නේ නම් හෝ ව්‍යායාමවල යෙදෙන්නේ නම් තමන්ට අධික රුධර පීඩනය තිබේ ද, හෘදයේ යම් ගැටලුකාරී තත්ත්වයක් පවතී ද, වෙනත් කුමන හෝ සෞඛ්‍ය ගැටලුවක් තිබේද යන්න වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවාගැනීම සුදුසු ය.
එය ඉතාමත් වැදගත් කාරණයකි. මන්දයත් තමන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාව පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව ක්‍රීඩාවකට යොමුවීම අනවශ්‍ය අවදානමක් බැවිනි. යම් හෙයකින් එසේ අනවබෝධයෙන් ක්‍රීඩාවකට සම්බන්ධ වුවහොත් එම පුද්ගලයාට විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇත. ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාව ද වැඩිය.
හොඳ පෞරුෂයක්, දරාගැනීමේ හැකියාවක් සහිතව ජවසම්පන්න, කාර්යශූර පුද්ගලයෙක් වශයෙන් ගොඩනැගෙන්නටත්, සෞඛ්‍යමත් ශරීරයක හිමිකරුවෙකු වීමටත් හොඳම මාවත ගැළපෙන ක්‍රීඩාවක් තෝරාගැනීමයි. එය ළමයින්ට මෙන්ම මැදිවියේ පුද්ගලයන්ට ද පොදු ය. ඔබත් තමන්ට හරියටම ගැළපෙන ක්‍රීඩාව තෝරාගතහොත් සෞඛ්‍යසම්පන්න නිරෝගී මිනිසෙකුවීම ඉතාමත් පහසු කටයුත්තකි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන් ද සිල්වා

සටහන – ඉසුරු සුධාරක දිසානායක