News

කුඩා දරුවන් අන්තර්ජාල ඇබ්බැහියෙන් මුදාගත හැකි උපාංගයක්

දරුවන් සිටින දෙමාපියන් මුහුණදෙන ලොකු ගැටලුවක් තමයි තමන්ගේ දරුවන් පරිගණකය, අන්තර්ජාලය ආදියේ ගත කරන කාලය පාලනය කර ගැනීම. ඔවුන්ගේ පිටුපසින් ම සිටිමින් මෙය කරන එක හැම අතින්ම කරදරකාරී සහ ප්‍රතිඵල රහිත ක්‍රියාවක්. මේ නිසා තමයි Vimana Smart Parenting Device කියන අපූරු උපකරණය දෙමාපියන් වෙනුවන් ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

ඉතා කුඩා ඉලෙක්ට්‍රොනික් උපාංගයක් වන මෙය අන්තර්ජාල රවුටරයක් වගේ නිවසේ යම් කිසි ස්ථානයක රඳවා තැබීම විතරයි කළ යුතු වන්නේ. එය මගින් අනවශ්‍ය වෙබ් අඩෙවිවලට අතුළුවීම වළක්වාලන්න පුළුවන්. ඒ කියන්නේ දරුවන්ට සුදුසු වෙබ් අඩෙවි පමණක් තෝරා ඒවාට ඇතුළු විට හැකි වන ආකාරයටත් අනිත් වෙබ් අඩෙවිවලට ඇතුළු විය නොහැකි වන ආකාරයටත් අගුලු දැමීමක් සිදු කරන්න පුළුවන්.
මෙයින් දරුවන් පරිගණකය සමග ගත කරන කාලය සීමා කරන්න පුළුවන්කම තිබෙනවා.

මෙවැන්නක් නිර්මාණය කරන්නට ඇති එක ම හේතුව නම් වර්තමානයේ අසීමාන්තිකව අන්තර්ජාලය භාවිතයට ඇති නිදහස බවයි මෙහි නිෂ්පාදකයන් පවසන්නේ. මෙවැනි සීමා කිරීමක් තුළින් තාක්ෂණය සහ දරුවන් අතර යහපත් සබඳතාවක් ගොඩනැගිය හැකි බව නිෂ්පාදකයින් වැඩි දුරටත් පවසනවා. දෙමාපියන් හැටියට දරුවන් පිවිසෙන වෙබ් අඩවි, ඔවුන් භාවිත කරන මෘදුකාංග වර්ග ආදිය මෙය ඔස්සේ පාලනය කළ හැකියි. මේ වනවිට බටහිර රටවල පාසල් පද්ධති තුළ වගේම නිවෙස්වලත් Vimana Smart Parenting Device උපාංගය භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා.
ඇමරිකානු ඩොලර් 69ක් හෙවත් රුපියල් 12000ක් පමණ වන මුදලකට මෙය www.vimano.io  ඇතුළු තවත් බොහෝ අන්තර්ජාල වෙබ් අඩවිවලින් මිලට ගන්නට පුළුවන්.

සටහන – දුලංජලී මුතුවාඩිගේ