Beauty

ඔබේ සමත් හිරු එළිය නිසා Damage වෙලා ද?

සාමාන්‍යයෙන් උදෑසන 7 සිට 10 පමණ දක්වා වූ කාලය තුළ ලැබෙන හිරු එළිය අපේ සමට හිතකර වන අතර එමගින් අපේ සමේ නිරෝගිබවට අවශ්‍ය පෝෂකයන් මෙන්ම සමෙ තෙතමනය රඳා පැවැත්ම කෙරෙහි අවශ්‍ය වන රැකවරණයත් ලබාදෙනු ඇත. එහෙත් දිවා කාලය වන විට හිරු මුදුන්වීම නිසා ඇතිවන උණුසුම් බවෙන් වැඩි සූර්ය රශ්මියට නිරාවරණයවීම නම් ඔබේ සමට එතරම් හිතකර නොවන අතර ඔබ තද හිරු එළියට ඍජුව ම නිරාවරණයවීම හරහා ඔබේ සමට හානියක් ඇතිවිය හැකි අතර ඉන් සම අවපැහැ ගැන්විය (skin discoloration) හැකිය. අප තරුණ වියේ දී විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවෙමින් හිරු එළියට නිරාවරණයවීම සහ සමට සිදුවන හානි පිළිබඳ එතරම් සැලකිලිමත් නොවුණ ද සම වියපත්වීමත් සමගම එහි අතුරුඵලයන්ට අපට මුහුණදීමට සිදුවේ. විශේෂයෙන් ම තරුණ වියේ දී සමේ collagen level සහ elastin level එක ඉහළ මට්ටමක පවතින බැවින් ඉන් අවශෝෂණය කර ගනියි. එහෙත් සම පරීණතවීම නැතහොත් වියපත්වීමත් සමග අපට යම් යම් අතුරු ප්‍රතිඵලයන්ට මුහුණදීමට සිදු වේ. එලෙස ඇතිවන තත්ත්වයන්ට නිදසුන් ලෙස හිරු එළියට පිළිස්සුණු ලප කැළැල් (sun burn) හැඳින්විය හැකිය.

යොවුන් වියේ දී එවැනි පිළිස්සීම් සම අවපැහැගැන්වීම ලෙසින් දිස්වුව ද පසු කාලීනව ඒවා අලුහම් වැනි ලප ආකාරයෙන් සම මතුපිට දිස්විය හැකිය. එමෙන්ම මේ හරහා pigmentation ද ඇතිවිය හැකිය. Pigmentation ලෙස හැඳින්වෙන්නේ ද සම දුර්වර්ණවීමකි. නිදසුන ලෙස මුහුණේ ළා දුඹුරු පැහැයට ඇතිවන අඳුරු පැල්ලම් හැඳින්විය හැකියි. Pigmentation වර්ග කිහිපයක් ම ඇත. එනම් නළල මත මෙන්ම ගෙලෙහි ද හටහන්නා අදුරු ලප මෙම pigmentation ගණයට ම අයත් වේ. මේවා හිරු එළිය නිසා මෙන්ම LED වැනි තද ආලෝකයන් නිසා ද ඇතිවිය හැකි අතර ජානමය වශයෙන් ද ඇතිවිය හැකිය. මීට අමතරව සම මත අඳුරු පැහැ තිත් ස්වභාවයෙන් යුත් කැළැල් ද හිරු එළියට නිරාවරණයවීම නිසා ඇති වේ. එමෙන්ම තද හිරු එළියට නිරාවරණයවීම නිසා වියළි සම මත රතු පැහැ ලප කැළැල් ද මතුවිය හැකිය. ඇතැම් විට හිරු එළිය නිසා වයස් භේදයකින් තොරව ද සමට හානි ඇතිවන ආකාරයන් ද දක්නට ඇත. නිදසුන් ලෙස තුරුණු වියේ දී ම සමහර පුද්ගලයන්ගේ ඇස් දෙපස හිරු එළියට පිළිස්සුණු ලප කැළැල් දක්නට ලැබේ. එම නිසා ඔබ නිරන්තරයෙන් ම තද හිරු එළියෙන් ආරක්ෂාවීම වැදගත් වේ.

හිරු එළියෙන් ආරක්ෂාවීම සඳහා නිවසේ දී ම අපට කළ හැකි ප්‍රතිකර්මයක් ලෙස sun block එකක් භාවිත කළ හැකි අතර sun block එකක් තෝරාගැනීමේ දී එය spf අගය 45වලට වඩා ඉහළ අගයකින් තෝරාගැනීම අපේ රටෙ කාලගුණික තත්තවයට අනුව වඩාත් උචිත වේ. ඊට අමතරව සම හිරු එළියට නිරාවරණයවීම නිසා පිළිස්සුම් ඇති වූ විගස ම සම යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වූ ඉක්මන් ප්‍රතිකාරයක් ලෙස අපට සම මත තැඹිලි වතුර ආලේප කළ හැකි අතර එය පිස දැමීමකින් තොරව සමට උරාගැනීමට ඉඩදිය යුතුය. ඉන්පසු තැඹිලි වතුර උරාගත් සම මත Lacto calamine lotion ආලේප කළ යුතුය. මෙය පැයක් දෙකක් පමණ සම මත තැබිය යුතු අතර මෙම සත්කාරය මගින් හිරු එළිය නිසා අවපැහැ වූ සම කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. තව ද මෙම තැඹිලි වතුර සමග කෝමාරිකා / යෝගට් හෝ මී කිරි වැනි දෙයක් ද යොදාගත හැකිය. එමෙන්ම කෝමාරිකා ආලේප කිරීම ද හිරු එළියෙන් පිළිස්සුණු සමකට ඉතා කදිම ප්‍රතිකර්මයක් වනු ඇත.

සමට මෙන්ම අපගේ කෙස් කළඹට ද හිරු එළිය නිසා හානියක් ඇතිවිය හැකිය. එනම් හිරු එළියට නිරාවරණයවීම නිසා හිසකෙස් වියළි බවට පත්විය හැකිය. හිසකෙස් සඳහා සබන් භාවිත කිරීමෙන් සහ තමන්ගේ හිසකෙස්වලට නොගැළපෙන ෂැම්පු වර්ගයක් භාවිත කිරීම හරහා කෙස් කළඹ වියළි බවට පත්වන අතර ඒ හරහා හිසකෙස්වලට වෙනත් ආරක්ෂාවක් නොලැබේ. එවැනි කෙස් කළඹක් හිරු එළියට නිරාවරනයවීම මගින් හිසකෙස් තවදුරටත් වියළීමට ලක්වෙනු ඇත. එම නිසා අප නිතරම හිසකෙස්වලට ගැළපෙන ෂැම්පූ වර්ගයක් සහ හිසකෙස් අරක්ෂා කරවන කන්ඩිෂනර් වර්ගයක් භාවිත කිරීම වැදගත් වේ. එමෙන්ම නිවසේ දී ම වියළි කෙස් කළඹ වෙනුවෙන් කළ හැකි ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස වෙරළු කොළ ජලය ස්වල්පයක් යොදා කොටා ස්නානය කිරීමට පැයකට පෙර හිසකෙස්වල ආලේප කළ හැකි අතර මෙම සත්කාරයෙන් පසු කොණ්ඩය සේදීමේ දී ෂැම්පු නොගැල්විය යුතුය.

වියළි කෙස් කළඹ සඳහා සත්කාර (Hair mask)

අවශ්‍ය ද්‍රව්‍ය:
■ ඉදුණු කෙසෙල් ගෙඩියක්
■ මී කිරි මේස හැදි 5
■ මී පැණි තේ හැදි 1

සකසා ගන්නා ඇකාරය:
මෙම ද්‍රව්‍ය සියල්ල ම එකට දමා කෙසෙල් ගෙඩිය හොදින් පොඩිවන තුරු මිශ්‍ර කර ගන්න. ඉන්පසුව මෙම මිශ්‍රණය කෙස් කළඹ මත ආලේප කර හිසකෙස් ෂවර් කැප් එකක් හෝ පොලිතින් බෑගයක් ආධාරයෙන් ආවරණය කර ගන්න. මෙම ආලේපනය අවම වශයෙන් මිනිත්තු 30-60ක කාලයක් තැබිය යුතුය.

අවශ්‍ය ද්‍රව්‍ය:
■ මෙති තේ හැදි 2
■ බී ලූනු ගෙඩි 1
■ දෙහි ගෙඩියක්
■ පොල් තෙල් තේ හැදි 1

සකසාගන්නා ඇකාරය:
මෙති තේ හැදි 2ට උණු වතුර ස්වල්පයක් එකතු කර ඉන්පසු එයට බී ලූනු ගෙඩිය ද එකතු කර මිශ්‍රණය සකසාගන්න. එම මිශ්‍රණයට ම දෙහි ගෙඩිය යුෂ සහ පොල්තෙල් තේ හැන්ද එකතු කර ගනිමින් යළිත් හොඳින් මිශ්‍ර කර ගන්න. මෙය හිස් කබල මත ආලේප කර පැයක් හෝ පැය දෙකක කාලයක් තබා සුපුරුදු පරිදි ෂැම්පු සහ කන්ඩිෂනර් දමා කෙස් කළඹ සෝදාගන්න.

Vindya Lugoda
[Serenity Salon (pvt) ltd.]

සටහන – පියුමිලා අරවින්දි