Beauty

නිරෝගිමත් සුන්දර දෑසක් හිමිකර ගැනීමට නම් ඔබ දැන සිටිය යුතු ම කරුණු කිහිපයක්

සුන්දර දීප්තිමත් දැසක් යනු ඔනෑම අයෙකුගේ ආකර්ෂණීය බව තවදුරටත් ඔපමට්ටම් කරන ප්‍රබල සාධකයකි. එම නිසා ම ඇස් දෙක නිරෝගීව ලස්සනට තබාගැනීම කෙරෙහි බොහෝදෙනා වැඩි අවධානයක් දක්වයි. එහෙත් ඇස් යට අවපැහැ ගැනීම මෙන්ම Wrinkles ඇතිවීම වැනි හේතු සාධක නිසා දෑස්වල ඇති පියකරු බව ගිලිහී යා හැකිය. එබැවින් අප මෙවර ඔබ සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ ඇස් යට අවපැහැවීම සහ Wrinkles ඇතිවීම කෙරෙහි බලපාන හේතු සාධක සහ ඒ සඳහා වන ප්‍රතිකාරයන් පිළිබඳවයි.
ඇස් යට අවපැහැවීම කෙරෙහි බලපානු ලබන හේතු සාධකයන් පිළිබඳව සඳහන් කිරීමේ දී ඒ සඳහා සාමාන්‍යයෙන් පරම්පරාවෙන් එන ජානමය හේතු සාධකයන් ද බලපෑ හැකි බව අවධාරණය කළ හැකිය. ඊට අමතරව පීනස වැනි රෝගී තත්තවයක් තිබීම මෙන් ම නින්ද අඩුවීම, පරීගණක තිරය ඉදිරිපස වැඩි වෙලාවක් ගත කිරීම, බොහෝ රෑ වන තුරු ම පොත් කියවීම වැනි හේතු සාධක ද ඇස් වටා අවපැහැ ගැන්වීම කෙරෙහි හේතුවිය හැකිය. තව ද, ඇස් අඳුන් (කාජල්) වැනි රූපලාවණ්‍ය ද්‍රව්‍ය අධික ලෙස කාලයක් පුරා ගැල්වීම නිසා මෙන්ම මානසික අවපීඩනය (Stress) ඇතිවීම නිසාද මෙලෙස ඇස් යට අවපැහැ විය හැකිය.

මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා කළ හැකි ප්‍රතිකාරයන් කිහිපයකි. මේ සඳහා ඔබට ඔබේ සමට ගැළපෙන ආකාරයේ නයිට් ක්‍රීම් එකක් භාවිත කළ හැකිය. එහෙත් ඔබ ඉහත සඳහන් කළ ආකාරයේ චර්යාවක් ඇති අයෙක් නම් එම සත්කාරයෙන් වුව ලැබෙන ප්‍රතිඵල ප්‍රමාද විය හැකිය. මීට අමතරව ඔබට නිවසේ සිට ම සිදු කළ හැකි සත්කාරයක් ලෙස එක්වරක් පමණක් භාවිත කළ ටී බෑග් දෙකක් ශීතකරණයේ තබා සිසිල් වූ පසුව ඇස් දෙක මත තබාගෙන සිටීම වැනි සත්කාරයක් නිර්දේෂ කළ හැකි අතර එමගින් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබාගත හැකිය. පරම්පරාවෙන් එන ජානමය හේතු මත ඇස් යට අවපැහැ ගැන්වුණු පුද්ගලයෙකුට මෙමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ නොමැතිව ඉහත සඳහන් කළ අනෙකුත් හේතු සාධකයන්ගේ බලපෑමෙන් ඔබේ ඇස් වටා අවපැහැගැන්වී ඇත්නම් මෙම කුමන සත්කාරය හරහා වුව ඉක්මන් ප්‍රතිඵල ළඟාකර ගැනීම අසීරු වන අතර ඔබ අනිවාර්යෙන් ම එම චර්යාවන්ගෙන් ඈත්වීමට හෝ ඒ සඳහා නිවැරදි විකල්ප ක්‍රමවේදයක් (පරිගණකය ආශ්‍රිත කටයුතු සිදුකිරීමේ දී Cooling glass පැලඳීම වැනි විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීම) අනුගමනය කළ යුතුය.

පිපිඤ්ඤා පෙති දෑස් මත තැබීම මගින් දෑස්වල වියළිබව අවම කරමින් දෑස් සිසිලස් කරනු ඇත. එමෙන්ම අර්තාපල් සහ රාබු අලවල ඇති ස්වාභාවික බ්ලීචිං ගුණය නිසා සම අවපැහැගැන්වීම අවම කර ස්වාභාවිකව ම පැහැපත් බවක් ලබාදෙන බැවින් දෑස් මත අර්තාපල් අල පෙති තැබීම මගින් ඇස් යට අඳුරු පැහැය තරමක් දුරට හෝ අවම කර ස්වාභාවික පැහැපත් බවක් ලබාගත හැකිය.

ඉහත දක්වා ඇති නිවසේ සිටම කළ හැකි සත්කාරයන්ට අමතරව ඔබට රූපලාවණ්‍යාගාරයක් වෙත පිවිසී ඇස් යට අවපැහැගැනීම සඳහා වූ ප්‍රතිකාර්මයන් ද ලබාගත හැකි අතර ඒ සඳහා විධිමත් නිපුණතාවක් සපුරා ඇති ප්‍රවීණ රුපලාවණ්‍ය ශිල්පියෙකු තෝරාගැනීමට ඔබ කටයුතු කිරීමට වගබලා ගන්නේ නම් වඩාත් යහපත් ය.

ඇස් යට අවපැහැ ගැනීමට අමතරව Wrinkles ඇතිවීම ද ඔබේ දෑසේ සුන්දරත්වය අඩු කරන තවත් එක් රූපලාවණ්‍ය ගැටලුවකි. වියළි සමක් ඇතිවිට මෙම Wrinkles ඇතිවීමේ වැඩි අවදානම් තත්ත්වයක් පවතින අතර වයස්ගත වෙදිදී අප සමේ Collagen level සහ Elasticity level අඩුවීම ද මෙම Wrinkles ඇතිවීම කෙරෙහි බලපානු ඇත. මෙලෙස සමේ Collagen level සහ Elasticity level අඩුවීම නිසා ඇස් යට පමණක් නොව මුහුණේ අනෙකුත් ස්ථානවල ද Wrinkles ඇතිවිය හැකිය. මේ සඳහා ද ප්‍රතිකාරයන් ලෙස නයිට් ක්‍රීම් එකක් භාවිත කිරීම මෙන්ම නිවසේ දී සිදු කරගත හැකි සත්කාර ලෙස අප පූර්වයේ සඳහන් කළ අල පෙති සහ පිපිඤ්ඤා පෙති තැබීමෙ සත්කාරය සිදු කළ හැකි අතර එමගින් සමේ තෙතමනය ආරක්ෂා වේ. මීට අමතරව මුහුණ සඳහා කරන ව්‍යායාම මගින් ද මෙම Wrinkles වැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

Vindya Lugoda
[Serenity Salon (pvt) ltd.]

සටහන – පියුමිලා අරවින්දි