Beauty

දෙපා හැඩට තියාගන්න මේ Beauty Tips දැනගන්න

බොහෝදෙනෙකු තම මුහුණේ සුන්දරත්වය රැකගැනීම පිළිබඳ උනන්දුවක් දැක්වුව ද, තම දෙපා පිරිසිදුව, අලංකාරව තබාගැනීම කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. එහෙත් තම දෙපා මනා ලෙස පිරිසිදු කර, පිළිවෙළව තබාගැනීම ඔබේ සුන්දරත්වය කෙරෙහි හේතුවනු ඇත. එය ඔබේ පෞරුෂත්වය කෙරෙහි ද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇත. එබැවින් මෙවර ලිපිය හරහා අප ඔබ සමඟ සාකච්ඡා කරන්නේ, දෙපාවල සුන්දරත්වය රැකගන්න, ආකාරය පිළිබඳව ය.

පිරිසිදුකම යනු සුන්දරක්වයේ ප්‍රධානතම පියවරයි. එබැවින් දෙපාවල නිය නිසි ලෙස කපා, පිරිසිදු කර පවත්වාගැනීම අත්‍යවශ්‍ය ම කරුණක් වනු ඇත. එමෙන්ම, අවම වශයෙන් මසකට වරක් හෝ ඔබට රූපලාවණ්‍යගාරයකට ගොස් පෙඩික්‍යු (Pedicure) සත්කාරයක් සිදු කරගත හැකි නම් එය ද ඔබේ දෙපාවල සුන්දරත්වය ආරක්ෂා කර ගැනීම කෙරෙහි උපකාරිවනු ඇත. පෙඩික්‍යු සත්කාරයේ දී නිය පිරිසිදු කර නිය අලංකරණය සිදු කිරීම මෙන්ම දෙපා සම්භාහනය කිරීම හරහා රුධිර ගමනාගමනය ක්‍රමවත් කර දෙපාවල තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සත්කාරයන් ද සිදු කරයි. එබැවින් එය ඔබේ දෙපාවල සුන්දරත්වය රැකගැනීම සඳහා ඉවහල් වනු ඇත.

ඔබට නිවසේ සිට ම වුව ද දෙපා සඳහා කළ හැකි සත්කාර තිබේ. නිවසේ දී ම සකස් කර ගත් ස්ක්‍රබ් එකක් මඟින් ඔබේ දෙපා මනා ලෙස පිරිසිදු කරගත හැකිය. මේ සඳහා ඔබට නිවසේ දී පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය කිහිපයක් භාවිත කර ස්ක්‍රබ් එකක් පිළියෙළ කරගත හැකිය. එනම්, කන්ඩිශනර් ස්වල්පයකට සීනී ස්වල්පයක් එකතු කර ඔබට ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කළ හැකි අතර, කෝපි කුඩුවලට වතුර ස්වල්පයක් මුසු කර එය ද ස්ක්‍රබ් එකක් ලෙස යොදාගත හැකිය. මෙම ස්ක්‍රබ් සත්කාරයන් මඟින් දෙපාවල මැරුණු සම ඉවත් කර සමෙහි තෙතමනය රැකදෙයි. මීට අමතරව නිවසේ දී ම පහසුවෙන් පිළියෙළ කර ගත හැකි පැක් වැනි දෑ ඔබට දෙපාවල ආලේපනය කළ හැකිය. ඒ සඳහා යෝගට් එකකට කහ ස්වල්පයක් එකතු කර පැක් එකක් ලෙස භාවිත කළ හැකිය.

ඇතැම් පුද්ගලයන්ගේ දෙපාවල පාවහන්වලට ඇතිවූ කැලැල් සහ විවිධ අවපැහැ ගැන්වුණු ලප කැළැල් දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ඇත්නම්, රාත්‍රී සත්කාරයන් ලෙස හැමදාම පිරිසිදු පොල්තෙල් (Virgin Coconut Oil) ගෙන එය ගල්වා හොඳින් සම්භාහනය කිරීම මඟින් එම ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගත හැකිය. එමෙන්ම එය ඔබේ දෙපාවලට හොඳ තෙතමනයක් ද ලබාදෙනු ඇත. දෙපාවල වියළි සමක් සහිත අයෙකුට වුව ද මෙම සත්කාරය හරහා ඉතා ම යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය. එමෙන්ම මෙම කුමන සත්කාරය සිදු කළ ද ප්‍රමාණවත් ජලය පානය නොකිරීම ඔබේ ශරීරයේ ලෙඩ රෝග ඇති කිරීම සහ ඔබේ සුන්දරත්වය ගිලිහි යාමට ප්‍රභල හේතුවක් වනු ඇත. එම නිසා දිනකට 1ක – 4ක වැනි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඔබ ජීවිතයට එකතු කර ගත යුතු ම වැදගත් පුරුද්දකි.

නිය අලංකරණය වෙනුවෙන් නිය ආලේපණය කිරීම අපේ බොහෝ යුවතියන් අතර ප්‍රචලිත කරුණකි. එහෙත් මේ පිළිබඳව බොහෝදෙනා අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා නියපෙළහි සුන්දරත්වයට හානි සිදු කර ගනියි. සාමාන්‍යයෙන් ආලේපණයන් ගල්වා තැබිය යුත්තේ උපරිම වශයෙන් සතියක් වගේ කාලයකි. ඉන් පසු ආලේපණය ඉවත් කොට අවම වශයෙන් දිනක් හෝ දින දෙකක් නිය පෙළ ස්වභාවික අන්දමෙන් තැබීම අත්‍යවශ්‍ය කරුණකි. එම කරුණු අනුගමනය නොකළ විට නිය පෙළෙහි විවිධ ආසාධනයන් වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

Vindya Lugoda
[Serenity Salon (pvt) ltd.]

සටහන – පියුමිලා අරවින්දි