Beauty

සුදු වෙන්න ගිහින් ලෙඩ හදා ගන්න එපා… මෙන්න සුදු වෙන ස්වභාවික ආයුර්වේද ක්‍රම

වර්තමාන සමාජයේ ජීවත්වෙන යුවතියන් ලස්සන වෙන්න, සුදු වෙන්න දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. විශේෂයෙන් ම සුදු වෙන්න නම් යුවතියන් නොකරන දෙයක් නැති තරම් ය. විවිධ වූ ආලේපන වර්ග භාවිතය, බාහිර ප්‍රතිකර්මයන් වශයෙන් යොදාගැනීම අද ජනප්‍රියත ම දෙයකි.
සමෙහි පැහැය අනුව මෙලොව උපත ලබන අප සෑම කෙනෙක්ව ම වර්ණ කාණ්ඩ හයකට බෙදා දක්වයි. එනම්,
1. පර්ල් වයිට්
2. ෆෙයාර්
3. මීඩියම්
4. ඔලිව්
5. ඩාක් බ්‍රවුන්
6. බ්ලැක් යනුවෙනි.

පර්ල් වයිට්, ෆෙයාර්, මීඩියම් යන වර්ණ කාණ්ඩයන්ට අයත් වන්නේ බටහිර ජාතිකයන් ය. ඔලිව් වර්ණ කාණ්ඩයට අයත් වන්නේ ඉතාලි ජාතිකයන්ය. ඩාක් බ්‍රවුන් වර්ණ කාණ්ඩයට අයත් වන්නේ ආසියාතික අප ය. බ්ලැක් වර්ණ කාණ්ඩයට අයත් වන්නේ අප්‍රිකානු ජාතිකයන් ය.
සමෙහි පැහැය තීරණය කරනුයේ එහි ඇති මෙලනින් වර්ණක සෛලයන් ය. සමෙහි මෙලනින් වර්ණකය අඩුව පිහිටා ඇති නම් ඔවුන්ගේ සමෙහි පැහැපත් බව සුදු පැහැති බව වැඩි ය. මෙලනින් වර්ණකය වැඩිය පිහිටා ඇති නම් ඔවුන්ගේ සමෙහි සුදු පැහැති බව අඩු ය.
මෙලනින් වර්ණකයෙන් අප හට තවත් වැදගත් කාර්යයක් ඉටු කර දෙයි. හිරු එළියේ ඇති විෂ සහිත අල්ට්‍රා වයලට් කිරණවලින් සම ආරක්ෂා කර දෙනුයේ ද මෙලිනින් වර්ණකයයි.
ශ්‍රී ලාංකික අප හට අයත් වර්ණ කාණ්ඩය ඩාක් බ්‍රවුන් ය. ලංකාව සමකාසන්නයේ පිහිටි රටකි. එම නිසා අප හට හිරුගෙන් වන අහිතකර බලපෑම ද වැඩි ය. ඒ නිසා හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීම සඳහා අපගේ සමෙහි මෙලනින් නිෂ්පාදනය අධික නිසා අප ඩාක් බ්‍රවුන් වර්ණ කාණ්ඩයට අයත් ය.
වර්ණ කාලසටහනේ අප සිටින්නේ පස්වන ස්ථානයේ ය. නමුදු ලාංකික යුවතියන් උත්සාහ කරන්නේ වර්ණ කාලසටහනේ පළවෙනි වර්ණ කාණ්ඩය තමන්ට ළඟාකර ගැනීමට ය. එහෙත් ස්වභාවිකව අප හට කිසිදු දිනක පර්ල් වයිට් නම් පළමු වන වර්ණ කාණ්ඩයට ළඟාවිය නොහැකිය. එහෙත් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අපගේ සිරුරේ මෙලනින් නිෂ්පාදනය අඩු කර සම සුදු කරගත හැකිය.
අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සම පැහැපත් කර, සුදු කරගත හැකි වුවත් එම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මිනිසාට වන හානිය ද සුළුපටු නොවේ.
සම සුදු කරන ප්‍රධාන රසායනික ද්‍රව්‍යයක් ලෙස රසදිය, ආබියුටින්, කොජික් ඇසිඞ්, හයිඩ්‍රෝ කීනෝන් හැඳින්විය හැකිය. මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතයෙන් දින 14ක් වැනි කෙටි කලකින් සුදු විය හැකිය. මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සමෙහි පිළිකා ඇතිවීමේ අවදානම මේ වනවිට ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා රෝහල මගින් ම නිවේදනය කර ඇත. තව ද පියයුරු හා ගර්භාශගත පිළිකා ඇතිවීම, මළදරු උපත් ඇතිවීම, අංගවිකල දරු උපත් ඇතිවීම, මඳසරුභාවය ඇතිවීම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවී හමාර ය.
මෙම රසායනික ද්‍රව්‍ය අපගේ සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රීයන් වන මොළය, හදවත, වකුගඩු, අක්මාව වැනි අවයවයන්ට හානි සිදුකරයි.

කාන්තා ඔබ ලස්සන විය යුතුය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. නමුදු ඔබ ලස්සනවීමට යාමේ දී ඔබගේ නිරෝගීභාවය ගිලිහී යාම නොවිය යුතුය. ලාංකික යුවතියන්ට සුදු විය නොහැකිය. එහෙත් සම පැහැපත් කරගත හැකිය. ඒ සඳහා ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම රාශියක් අද ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සතු ය.

සමෙහි පැහැපත් බව ඇතිකරන ද්‍රව්‍ය ආයුර්වේදයේ දී “වර්ණකාරක ද්‍රව්‍ය” යනුවෙන් හඳුන්වනු ලැබේ. වර්ණකාරක ද්‍රව්‍ය 10කි. එම ද්‍රව්‍ය 10න් පහක් පහත දැක්වේ. එනම්,

1. රත් හඳුන්
2. වැල්මදට
3. වැල්මී
4. ඉරමුසු
5. සැවැන්දරා

මෙම ද්‍රව්‍ය 5 කුඩු ලෙස ද ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. ඉහත සඳහන් ද්‍රව්‍ය මගින් සමෙහි පැහැපත් බව වර්ධනය කරන බව නවීන තාක්ෂණය මගින් ද මේ වනවිට ඔප්පු කර අවසාන ය. ඉහත සඳහන් කළ ද්‍රව්‍ය පහ සම ප්‍රමාණයෙන් කුඩු ලෙස රැගෙන සම අනුව එනම් සමෙහි වර්ණය අනුව පහත සඳහන් මාධ්‍ය සමග මිශ්‍ර කර සමෙහි ආලේප කළ හැකිය.

සාමාන්‍ය සමට
වර්ණකාරක ද්‍රව්‍ය පිරිසිදු ජලය සමග මිශ්‍ර කර මුහුණේ අලේප කරන්න.

වියළි සමට
වර්ණකාරක ද්‍රව්‍ය එළකිරි හෝ කෝමාරිකා සාරය සමග මිශ්‍ර කර ආලේප කරන්න.

තෙල් සහිත හෝ ලප කැළැල් සහිත සමට
යෝගට් හෝ ජලයට දෙහි බිංදු 10ක් පමණ මිශ්‍ර කර එම ජලය සමග හෝ මිශ්‍ර කර මුහුණේ අලේප කරන්න.

වැඩුණු සමට (අවුරුදු 30ට වැඩි)
එළකිරි සමග මිශ්‍ර කර ආලේපය.

මෙම ආලේපනය ආලේප කර විනාඩි 20කට පසු සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කළ හැකිය. මෙම ආලේපනය දිනපතා වුව ද ඔබට ආලේප කළ හැකිය. මෙම ආලේපන භාවිතයෙන් ඔබට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ. මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයට වඩා මිනිස් සිරුරට හිතකර ස්වභාවික ශාකසාර භාවිතයෙන් ඔබට සුන්දර විය හැකිය.

“රුවැති යුවතිය වාසනාවන්ත ය” යන කියමන අනුව ඔබට ලාභදායී ලෙස රුව රැකගත හැකිය.

ආචාර්ය, වෛද්‍ය භූෂණ මහේෂ් අතුරලිය (ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක)