Health Guide

යහපත් සෞඛ්‍යයකින් හෙබි තාරුණ්‍යයකට වෙනස් විය යුතු දේ

සාමාන්‍යයෙන් තරුණ කියලා හඳුන්වන්නේ වයස අවුරුදු 12ත් 24ත් අතර වයසේ පසුවන අය. ඒ අනුව ලෝකයේ තරුණ ජනගහනය මිලියන 1.6ක් විතර වෙනවා. 2012 වසරේ සිදු කළ ජන සංගණනයට අනුව ලෝකයේ තරුණ ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 25ක් විතර වුණා. නමුත් 2019 වෙද්දි එය සියයට 40 ඉක්මවූ ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.

තාරුණ්‍යය සහ සෞඛ්‍ය පුරුදු අතර පවතින බැඳීම ගැන නම් කිසිසේත් ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒකට හේතුව තමයි තරුණ අයගෙන් වැඩි ප්‍රමාණයක් යහපත් සෞඛ්‍ය පුරුදු ගැන වද වෙන අය හෝ යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගත් අය විදිහට Young Health Programme (YHP) එක විසින් සලකන්නේ නැහැ. ඒකට හේතු කීපයක් ඔවුන් පෙන්වා දෙනවා.

1. වැඩිහිටියන් විශ්වාස නොකිරීම
සාමාන්‍යයෙන් තරුණ අය බොහෝමයකට වැඩිහිටියන් ගැන විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ වැඩිහිටි අය කියන දේවල් අහන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. උදාහරණයක් විදිහට වැඩිහිටි කෙනෙක් කිව්වොත් කොණ්ඩෙට ජෙල් ගාන්න එපා ඉක්මනින් කොණ්ඩෙ සුදුපාට වෙනවා හෝ හැලෙන්න ගන්නවා කියලා, ඔවුන් කවදාවත් ඒක අහන්න කැමති වෙන්නේ නැහැ. තමන් කරන දේ තමයි හරියට ම හරි කියලා හිතන තරුණ අය තමන්ගේ රටාව වෙනස් කර ගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම රෑට දත් මැද්දේ නැත්නම් ඉක්මනට දත් දිරලා යනවා කියලා වැඩිහිටි කෙනෙක් කිව්වොත්, මගේ දත් එහෙම වෙන්නේ නෑ කියලා හිතලා දත් මදින්නේ නැතිව ම නිදාගන්නවා. නමුත් ඔවුන් වියපත් වෙලා ඉහත දේවල් අත්දකින්න පටන් ගනිද්දි තමයි තේරුම්ගන්නේ වැඩිහිටි අය එදා කියපු දේ හරියටම හරි කියලා.

2. ජීවිත කාලය පුරාම තාරුණ්‍යයේ සිටිය හැකි යැයි ඇති විශ්වාසය
මේ කාරණයත් බොහෝ තරුණ තරුණියන්ට අදාළයි. වියපත් වෙලා අපහසුවෙන් ඇවිදින කෙනෙක් හෝ වියපත්ව එක්තැන් වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් බොහොමයක් තරුණ අය හිතන්නේ “අම්මෝ මම නම් කවදාවත් ඔහොම වෙන්නේ නෑ” කියලා. නමුත් කවදාහරි දවසක තමාටත් එහෙම වෙනවා කියලා ඒ අයට වැටහීමක් නැහැ. තරුණ අය ඒ වගේ දේවල් විශ්වාස කරන්න කැමති නැහැ. දැන් තිබෙන තරුණකම හැමදාමත් තියේවි වගේ දෙයක් ඔවුන්ට හිතනවා. ඒක ස්වභාවිකව ඇතිවන සිතුවිල්ලක්.

3. පිරිසිදුකම ගැන අඩු තැකීම
තරුණ වයසේ සමහර අයට පිරිසිදුකම ගැන වැඩි උවමනාවක් නැහැ. ටී ෂර්ට් එකක්, ඩෙනිම් එකක් ඇන්දට පස්සේ ටිකක් දුගඳයි වගේ නම් හොඳ සුවඳ පර්ෆියුම් එකක් ස්ප්‍රේ කර ගන්නවා මිස මේ ඇඳුම නිසා යම්කිසි ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා හිතලා අලුත් ඇඳුමක් මාරු කර ගන්න උත්සාහ කරන්නේ නැහැ. කන්න කලින් අත් සෝදන්න ඕනෙ කියලා පුංචි කාලෙ ඉඳන් ඉගෙනගත්තත් අත්වල මේ වෙලාවෙ මොනවත් විෂබීජ නැතිව ඇති කියලා හිතලා අත් සෝදන්නේ නැතිවම කෑම කනවා. සමහර අය නාන්න, ඇඟ සෝදන්න වුණත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැති තරම්.

4. ආහාර පාලනය
මේ කාරණය වැඩිපුරම අදාළ වෙන්නේ තරුණ වයසේ ඉන්න ගැහැනු ළමයින්ට. ඔවුන් වැඩි අවධානයක් දෙන්නේ තමන්ගේ සිරුරේ හැඩයට. ටිකක් හරි මහතයි කියලා හිතුණොත් ඕනෙ තරම් කාලයක් කෑම නොකා ඉන්න තරම් ඔවුන් ධෛර්ය සම්පන්නයි. කෑම නොකා ඉන්න එකෙන් සිරුර හැඩට තබාගන්න පුළුවන් කියන මිත්‍යාවේ ඉඳලා විවිධ රෝගවලට ගොදරු වුණු අය ලෝකයේ ඕනෙ තරම් ඉන්නවා. ආහාර පාලනය කිරීම පාලනයකින් යුතුව කළ යුතු දෙයක්. එහෙම පාලනයකින් යුතුව ආහාර පාලනය නොකිරීම ඇනොරෙක්සියා නර්වෝසා Anorexia nervosa වගේ සුව කළ නොහැකි මට්ටමේ දරුණු තත්ත්වයන්ට ගොදුරු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

5. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය
ලෝකයේ මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්න පිරිසෙන් සියයට 78ක් ම තරුණ වියේ අය. මේ අය දුම්පානය, මත් කුඩු, මත් පෙති ආදියට ඇබ්බැහි වෙන්නේ තමන්ගේම වයස් කාණ්ඩවල අයගේ බලවත් බලකිරීම මතයි. නමුත් මේ වගේ දේවල් නිසා සිදුවන ශාරීරික සහ මානසික හානිය ගැන ඔවුන්ට දැනුවත්කමක් නැහැ. ඒ වගේම ඒ හානිය ගැන දැනුවත්කමක් යන්තම් හෝ ඇති වෙද්දි ඔවුන් ආපසු හැරෙන්න බැරි තරම් දුර ගිහින් ඉවරයි.

6. අන් අය සමග සන්නිවේදනය නොකිරීම
තරුණ වයසේ බොහෝ අය නිවසේ අනිකුත් සාමාජිකයන් අතර හොඳ සන්නිවේදනයක් ගොඩනගාගත් අය නෙවෙයි. ගෙදර ඉන්න වෙලාවට තමන්ගේ කාමරයට වෙලා තනියම ඉන්න ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. එහිදී ඔවුන් මනෝ ලෝක මවාගෙන ඒ තුළ ජීවත් වන තත්වයකට පත් වෙනවා කියලා මනෝ වෛද්‍යවරු කියනවා. මෙය දිගින් දිගටම පැවතීම non-communicable diseases (NCDs) නම් වූ රෝගී තත්ත්වයට පවා හේතු වෙන්න පුළුවන්. මේ පුරුද්ද බොහෝ විට වියපත්වීමත් එක්ක නැතිවෙලා යනවා. වියපත් වුණාට පස්සේ ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ කවුරුන් හෝ සමගින් කතා කරමින් ම කාලය ගත කරන්නටයි.

මේ වගේ කාරණා ගැන සලකා බැලූ Young Health Programme (YHP) සංගමය තාරුණ්‍යයේ සෞඛ්‍යය පුරුදු ඉහළ නංවාලීමට ලෝක මට්ටමේ ව්‍යාපෘති රැසක් දියත් කරලා තිබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ 2025 අවුරුද්ද වෙද්දි ලෝකයේ තරුණ ප්‍රජාව අතර යහපත් සෞඛ්‍ය පුරුදු ගැන උනන්දුවක් ඇති කිරීමත් යහපත් පුරුදු නිසා විවිධ රෝගවලට ගොදුරු වන තරුණ පිරිස අඩු කර ගැනීමත් කියන කාරණා දෙකයි.

සටහන – දුලංජලී මුතුවාඩිගේ